සටන් විරාමය අවසන් නෑ - අමෙරිකානු ආරක්ෂක ලේකම් හෙග්සෙත්

සටන් විරාමය අවසන් නෑ - අමෙරිකානු ආරක්ෂක ලේකම් හෙග්සෙත්

May 5, 2026   07:12 pm

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව වුවද, අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය අවසන් වී නොමැති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.

ඊයේ සිදුවූ සතුරු ක්‍රියාවලින් පසු සටන් විරාමය අවසන් දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, "නැත, සටන් විරාමය අවසන් වී නැත," යනුවෙනි.

මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ඉරානයට එරෙහිව අමෙරිකාව දියත් කරන හමුදා ක්‍රියාමාර්ග සහ වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කරන 'Project Freedom' මෙහෙයුම යනු එකිනෙකට වෙනස් ක්‍රියාවලීන් දෙකක් බවය.

"අපි අපව ආරක්ෂා කරගන්නා බවත්, එය ඉතා දැඩි ලෙස සිදුකරන බවත් ප්‍රකාශ කළා. අපි එය එලෙසම ඉටුකර තිබෙනවා. ඉරානය ඒ බව දන්නවා. අවසානයේදී යම් සිදුවීමක් සටන් විරාමය උල්ලංඝනය කිරීමක් දක්වා වර්ධනය වන්නේද යන්න පිළිබඳව තීරණය ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්," යැයි හෙග්සෙත් පවසා ඇත.

එමෙන්ම, සටන් විරාමයේ සීමාවන් ඉක්මවා නොයන ලෙසත්, ගනු ලබන ක්‍රියාමාර්ගවලදී බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් ඔහු ඉරානයෙන් ඉල්ලා සිටියි. "දැනට සටන් විරාමය නිසැකවම පවතිනවා, නමුත් අපි ඒ පිළිබඳව ඉතා දැඩි අවධානයෙන් පසුවෙනවා," යැයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.