චාමරගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය දැනුම්දෙන්නැයි නියෝග
May 5, 2026 05:26 pm
දූෂණ චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඒ මහතාගේ නීතිඥවරු විසින් ගොනු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 12 වනදා සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) අල්ලස් කොමිසමට නියම කළේය.
මෙම ඉල්ලීමට අදාළ මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී සැකකාර චාමර සම්පත් දසනායක මහතා වෙනුවෙන් නීතිඥ අජිත් වික්‍රමසිංහ මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයට චීනයේ සංචාරය කිරීමට අවශ්‍ය වී තිබෙන බවත් ඒ අනුව අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරයිද ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම මෝසම ලබන 12 වනදා යළි කැඳවන ලෙස නියෝග කළ අතර එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.
