මගියෙක් ගුවන් යානයේ හදිසි දොරටුවෙන් බිමට පනී
සයුරෙන් එතෙර

මගියෙක් ගුවන් යානයේ හදිසි දොරටුවෙන් බිමට පනී

May 3, 2026   05:27 pm

සාජා සිට පැමිණි Air Arabia ගුවන් යානයක් අද (03) අලුයම චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමෙන් පසු, එය ධාවන පථයේ ගමන් කරමින් තිබියදී  මගියෙකු හදිසි දොරටුව විවෘත කර ඉන් පිටතට පැන තිබේ.

ගුවන්තොටුපොළ බලධාරීන් පවසා ඇත්තේ, යානය ප්‍රධාන ධාවන පථයෙන් ඉවතට පැමිණ ඉතා සෙමින් ගමන් කරමින් තිබියදී මෙම පුද්ගලයා ඉන් පිටතට පැන ඇති බවය.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් යානයට හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැත.

මූලික පරීක්ෂණවලට හෙළි වී ඇත්තේ, අදාළ මගියා ගුවන් ගමන අතරතුර දැඩි ලෙස අසනීප වී සිටි බවය.

ඔහු ගමන අතරතුර දෙවතාවක් වමනය කර ඇති බව ද ගුවන්තොටුපොළ නිලධාරින් ප්‍රකාශ කරයි.

මෙම සිදුවීම හේතුවෙන් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතුවලට ද සුළු බාධාවක් එල්ල වී තිබේ. 

අදාළ මගියා තමිල්නාඩුවේ පුදුක්කෝට්ටෙයි දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

ගුවන් සේවා ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් වේ.