ඉන්දියාවේ ගුවන් සේවා සමාගම්වලට සහනයක්
April 8, 2026 02:10 pm
ඉරාන යුද්ධය හේතුවෙන් මූල්‍ය පීඩනයට ලක්ව සිටින ඉන්දීය ගුවන් සේවා සමාගම් වෙත සහනයක් ලබා දෙමින්, එරට ප්‍රධාන ගුවන් තොටුපොළවල ගොඩබෑමේ සහ නැවැත්වීමේ ගාස්තු 25% කින් අඩු කරන ලෙස ඉන්දියාවේ ගුවන්තොටුපොළ තීරුබදු නියාමන අධිකාරිය නියෝග කර ඇත.
මෙම ගාස්තු අඩු කිරීම එරට දේශීය ගුවන් ගමන් සඳහා ඉදිරි මාස තුනක කාලය දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.
ඉන්දියාවේ ප්‍රධානතම ගුවන් සේවා සමාගම් වන IndiGo සහ Air India විසින් ගුවන් තොටුපොළ ගාස්තු සාධාරණීකරණය කරන ලෙස කළ ඉල්ලීමට අනුව මෙම පියවර ගෙන ඇත.
ඉන්දියානු ගුවන් යානාවලට පකිස්තානයට ඉහළින් පියාසර කිරීමට පනවා ඇති තහනම සහ පවතින ඉරාන යුද්ධය හේතුවෙන් එරට ගුවන් සේවා දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයට අනුව, ඉන්ධන සහ ශ්‍රම පිරිවැයට පසුව ගුවන් සමාගමක තුන්වන විශාලතම වියදම වන්නේ ගුවන් තොටුපළ සහ ගුවන් ගමන් පාලන සේවා සඳහා වන ගාස්තුයි.
අමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ගුවන් සේවා ක්ෂේත්රයට යම් අස්වැසිල්ලක් ඇති විය.
ඉන්දියාවේ ගුවන්තොටුපොළ ආර්ථික නියාමන අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම තාවකාලික ගාස්තු අඩු කිරීම නිසා ගුවන් තොටුපොළවලට සිදුවන ආදායම් අලාභය ඉදිරි ගාස්තු සමාලෝචනවලදී පියවා ගැනීමට කටයුතු කරන බවය.
