ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු සහ ශ්‍රී ලංකාව

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු සහ ශ්‍රී ලංකාව

February 21, 2026   04:24 pm

ගෝලීය වශයෙන් බලපාන තීන්දුවක් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඊයේ (20) ප්‍රකාශයට පත් කර තිබුණි.

එම තීන්දුව මගින් ගෝලීය වෙළෙඳපොළේ අවිනිශ්චිතතාව වැඩි කරමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සෘජු බලපෑම් ඇති කළ හැකිද යන්න පිළිබඳව ඇත්තේ සැකයකි.

ඇතැම් ආර්ථික විශේෂඥයින් පවසන්නේ, එය ශ්‍රී ලංකාවට ධනාත්මක බලපෑම් ඇති කරන බවය.

එමෙන්ම නව 10% ගෝලීය තීරුබද්දත් සමඟ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සෘණාත්මක බලපෑමක් ඇතිවිය හැකි බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු අහෝසි කරයි - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු නව 10% බද්දක්

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඊයේ ලබාදුන් තීන්දුවක් අනුව, ඩොනල් ට්‍රම්ප් පසුගිය වසරේ අප්‍රේල් 2 දින ප්‍රකාශයට පත් කළ ගෝලීය අන්‍යෝන්‍ය තීරුබදු නීත්‍යානුකූල නොවන බව තීරණය කර තිබේ.

එම තීන්දුවත් සමඟ ජනාධිපති ට්‍රම්ප් පැනවූ සියලු අතිරේක තීරුබදු අහෝසි කරනු ලැබීය. කෙසේ වෙතත්, අධිකරණ නියෝගයෙන් අනතුරුව ගෝලීය වශයෙන් වහාම බලපැවැත්වෙන පරිදි 10% නව තීරු බද්දක් ප්‍රකාශයට පත් කිරීමටද ඔහු පියවර ගෙන තිබුණි.

බලතල ඉක්මවා ගොස් ඇති බවට තීරණය

ට්‍රම්ප් ජනාධිපතිවරයා 1977 ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත යටතේ මෙම තීරුබදු පැනවූ බව සඳහන් කළද, එම පනත ජාතික හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමට පමණක් අදාළ බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ප්‍රමුඛ හයට තුනක බහුතර තීන්දුවකින් පෙන්වා දී ඇත්තේ, ආනයනික භාණ්ඩ මත බදු පැනවීම සඳහා එම බලතල භාවිතා කිරීමෙන් ජනාධිපතිවරයා සිය ව්‍යවස්ථාමය සීමා ඉක්මවා ගොස් ඇති බවය.

මෙම තීන්දුව මගින් පෙර පහළ අධිකරණයකින් ලබාදුන් සමාන තීන්දුවක් ද යළි තහවුරු කර ඇත.

2025 මැයි 28 වනදා මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

ඩොලර් බිලියන 175ක අවදානමක්?

අහෝසි කළ තීරුබදුවලින් මේ දක්වා ඩොලර් බිලියන 175කට ආසන්න මුදලක් එකතු කර ඇති බව වාර්තා වේ. එම මුදල ආපසු ගෙවිය යුතුද යන්න පිළිබඳ නීතිමය අවිනිශ්චිතතාවයක් පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැඩිව විවේචනය කළ ජනාධිපති ට්‍රම්ප්, එය ''කනගාටුදායක'' තීන්දුවක් ලෙස විස්තර කළ අතර, විදේශ රටවල් මෙයින් සතුටු වන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ඇති බලපෑම...

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර 88%ක වෙළෙඳ හිඟයක් පවතින බව පවසමින්, ශ්‍රී ලංකාවට 44%ක තීරුබද්දක් පැනවීමට ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේදී මුල්වරට නිවේදනය කළේය. පසුව එය 20% දක්වා අඩු කර තිබුණි.

අමෙරිකානු තීරු බදු ප්‍රතිපත්තිය හා වර්තමාන ගෝලීය භූ දේශපාලනික සහ යුධමය වාතාවරණය හමුවේ ලොව පුරා දැඩි අවිනිශ්චිතතාවයක් නිර්මාණය වෙමින් පවතින බව කොළඹ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, නව 10% තීරු බද්ද ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තත්ත්වයක් නොපවතින බවයි. නීතිවිරෝධී ලෙස නම්කරන ලද පෙර තීරු බදුවලට අදාළව ඉදිරියේදී ජනාධිපතිවරයා කුමන පියවරක් ගනු ඇතිද යන්න සම්බන්ධයෙන්ද අනියතතාවයක් පවතින බව ඔහු අවධාරණය කළේය.

“පනවා ඇති තීරු බදු ඉවත් කර ගැනීමට කටයුතු කරාවිද? නැත්නම් ඒවා හේතුවෙන් ඇතිවූ අලාභ සඳහා වන්දි ගෙවීමට පියවර ගනීවිද? ඒ කාරණා පිළිබඳව තවම පැහැදිලිතාවක් නැහැ,” යනුවෙන් මහාචාර්යවරයා පැවසීය.

කෙසේ වෙතත්, අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනිවාර්යෙන්ම එරට තීරු බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට බලපෑමක් එල්ල කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එම බලපෑම ලෝකයේ සියලු රටවලට එක හා සමාන ලෙස බලනොපානු ඇති අතර, යම් යම් රටවලට වාසිදායක වන ප්‍රතිපත්ති වෙනස්කම් සිදුවුවහොත්, අනෙකුත් රටවලට අහිතකර තත්ත්වයන් උදාවිය හැකි බවද ඔහු සදහන් කළේය.

විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා, විවෘත ආර්ථිකයක් පවත්වාගෙන යන රටවලට මෙවැනි ගෝලීය අවිනිශ්චිතතාවයන් දැඩි බලපෑම් ඇති කළ හැකි බවද මහාචාර්ය දුනුසිංහ මහතා අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අමෙරිකානු තීරු බදු ප්‍රතිපත්තිය සමඟ ගෝලීය භූ දේශපාලනික ගැටුම් සහ යුධමය තත්ත්වයන් එකට එක්වීමෙන් ලෝක ආර්ථිකය තුළ නව අවිනිශ්චිත වාතාවරණයක් උද්ගතව ඇති බවය. එම අවිනිශ්චිතතාවය, විශේෂයෙන් අපනයන මත රඳා පවතින ආර්ථිකයන්ට අහිතකර ප්‍රතිවිපාක ගෙන එනු ඇති බවද ඔහු අනතුරු ඇඟවීය.

ගෝලීය ආර්ථිකය සංකීර්ණ තත්ත්වයකට – මහාචාර්ය ටියුඩර් වීරසිංහ

අමෙරිකාවේ 10% ආනයන බද්ද සහ භූ දේශපාලනික ප්‍රතිපත්ති හේතුවෙන් ලෝක ආර්ථිකය සංකීර්ණ අවධියකට පත්ව ඇති බව මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.

එය සමස්ත ලෝක ආර්ථිකයටම බලපාන ප්‍රධාන සාධකයක් බව අද දෙරණට අදහස් දක්වමින් මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

“අමෙරිකාවට පැමිණෙන සියලුම භාණ්ඩ වෙනුවෙන් සියයට 10ක බද්දක් පනවලා තියෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම තවදුරටත් සමස්ත ලෝක ආර්ථිකයටම බලපාන සාධකයක් බවට පත්වෙනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ගෙනයන භූ දේශපාලනික ප්‍රතිපත්තියත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති බවය.

“මේ වනවිට ට්‍රම්ප් ගෙනයන භූ දේශපාලනික ප්‍රතිපත්තිය නියෝජනය කරන මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය, ඒ වගේම චීනය සම්බන්ධයෙන් ඒ ප්‍රතිපත්ති එක්කම ලෝක ආර්ථිකය සම්පූර්ණයෙන්ම දැන් දේශපාලනිකව හා ආර්ථිකව සංකීර්ණ තත්ත්වයකට පත්වෙනවා,” යනුවෙන් මහාචාර්යවරයා අවධාරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ, වෙළඳ ප්‍රතිපත්ති, භූ දේශපාලනික අර්බුද සහ කලාපීය ආරක්ෂක ගැටුම් එකට එක්වීමෙන් ගෝලීය වෙළඳාම, ආයෝජන හා සැපයුම් දාම පද්ධති මත දැඩි බලපෑම් ඇතිවිය හැකි බවය.

විශේෂයෙන් කුඩා හා විවෘත ආර්ථිකයන් සඳහා මෙවැනි ගෝලීය සංකීර්ණතා වැඩි අවදානමක් නිර්මාණය කරන බවද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් 10% අමෙරිකානු බද්දෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසා සිටියේ,  “දින 150ක් වැනි කාලයක් තුළ මේ තත්ත්වය ලෝක ආර්ථිකය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයකට ගෙන යා හැකියි. ලෝක ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් ඇතිවිය හැකියි,” යනුවෙනි. 

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සැලකිය යුතු මට්ටමක බලපෑමක් ඇති කළ හැකි බවය. විශේෂයෙන් අමෙරිකානු වෙළඳපොළ මත රඳා පවතින අපනයන අංශ සඳහා මෙය අභියෝගයක් වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ අපනයන විවිධාංගීකරණය කිරීම, නව වෙළෙඳ ගිවිසුම් සකස් කිරීම සහ වෙනත් රටවල් සමඟ ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම බව මහාචාර්ය අතුකෝරළ මහතා අවධාරණය කළේය.

අමෙරිකාව සමඟ වෙළෙඳ ගිවිසුම් ශක්තිමත් කිරීම සහ විවිධ පැතිවලින් අපේ වෙළෙඳාම සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියා කළ යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ගෝලීය වෙළෙපොළට මෙන්ම මෙරට අපනයන වෙළෙඳපොළට නව පියවරක්..

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු අමෙරිකානු කොටස් වෙළෙඳපොළ ඉහළ ගොස් තිබුණද, ගෝලීය වෙළෙඳ පද්ධතිය තුළ ඇති අවිනිශ්චිතතාව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඒ අනුව, මෙම නව තත්ත්වය තුළ ශ්‍රී ලංකාව ඇතුළු කුඩා ආර්ථිකයන්ට තීරණාත්මක වෙළෙඳ හා ආර්ථික ප්‍රතිපත්ති පියවර ගෙන තම ආර්ථිකය සුරක්ෂිත කරගැනීම අත්‍යවශ්‍ය වී ඇත.