පාතාලය සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන්ගේ තොරතුරු ළඟදීම

පාතාලය සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන්ගේ තොරතුරු ළඟදීම

February 20, 2026   11:25 am

කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන්ගේ තොරතුරු අනාවරණය වූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පත්මේ ඇතුළු කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔවුන්ගේ දුරකථන 30ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතතුරදී මෙම කරුණු අනාවරණය කරගත් බව හෙතෙම පැවසීය.

ඒ අනුව එම දේශපාලකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවත්, 
සම්පූර්ණ විමර්ශනකින් අනතුරුව පැහැදිලි ප්‍රකාශයක් සිදුකරන බවත් අමාත්‍යවරයා හෙළි කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

"කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු විමර්ශන දිගින් දිගටම කරනවා.

ඔවුන් සතු දුරකථන 30ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

ඒ දුරකථන හරහා ලබාගත් තොරතුරු සහ ඔවුන්ගේ ප්‍රකාශ හරහා ඔවුන් සමග සබඳතා පැවැත්වූ දේශපාලකයන්, ඔවුන් සමග ක්‍රියාකාරකම්වල යෙදුණු දේශපාලකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.

එම දේශපාලකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා, ප්‍රකාශ සටහන් කරගනිමින් ඉන්නවා

සම්පූර්ණ විමර්ශනකින් පසු මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදුකරනවා. මේ වනවිට විමර්ශන ඉතා සාර්ථකව පවතිනවා" යැයි පැවසීය.