දවසේ වෙඩිල්ල නැවැත්තුවා කිව්වා ජනාධිපතිගේ ගෙදර ළඟත් වෙඩි තියලා -නාමල්

දවසේ වෙඩිල්ල නැවැත්තුවා කිව්වා ජනාධිපතිගේ ගෙදර ළඟත් වෙඩි තියලා -නාමල්

February 16, 2026   09:23 am

පසුගිය කාලසීමාව තුළ ඇමතිවරු දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා යනුවෙන් පැවසූවද ජනාධිපතිගෙ නිවස අසලත් වෙඩි තබා ඝාතන සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ජනාධිපතිවරයාගේ නිවස අසලට ඇවිත් නීතිඥවරයෙක්ව බිරිඳ සමඟ දවාලේ ඝාතනය කරන්න හැකි නම් රටේ පුරවැසියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවද ඔහු පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල්‍ රාජපක්ෂ මහතා,

"පහුගිය කාලේ අපි දැක්කා මෙවැනිම සිදුවීමක් අධිකරණය ඇතුලේ ඝාතනයක් සිද්ධ වුණා.ඒ වගේම තමයි පහුගිය දිනෙක නීතිඥවරයෙක්ට පහර දුන්නා උසාවිය ගාව, පොලීසියයි නීතිඥවරු අතරත් ප්‍රශ්නෙකුත් ඇතිවුණා. අපි දැක්කා සෞඛ්‍ය ඇමතිවරයා තර්ජනාත්මක ස්වරූපයෙන් වෛද්‍යවරුන්ට කියනවා ඔබ ඔබේ අයිතීන් පිළිබඳ කතා කරලා, අයිතින් පිළිබඳව සටන් කෙරුවොතින් ජනතාව ඔබ ගැන තීන්දු ගනී.ආණ්ඩුව නොකියා කියන්නේ නීතිඥවරු මර්දනය කරන්න උත්සාහ කරනවා වගේ වෛද්‍යවරුවත් මර්ධනය කරනවා කියන කාරණය"

එක පැත්තකින් ආණ්ඩුව ජනතාව උසිගන්වලා මේ ජනතාව ලවා මේ රටේ වෘත්තිකයන්ට පහර දෙන න්‍යායක් ක්‍රියාත්මක වන බවක් පේනවා. දැන් අපි දැක්කනේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු තීන්දුව ලැබුණාම ආණ්ඩුවේ සමහරු ඒ නඩු තීන්දුව විවේචනය කරා විතරක් නෙමෙයි. ඝාතකයන් ඝාතනය කිරීම සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුව ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරන්න මිනිහෙක් වුණත් මැරීම ජනාධිපති සමාවක් ලබා දීමට සුදුසු බවක් බවට පත්කර තිබෙනවා. තවත් පැත්තකින් ජනතාව උසි ගන්නවා වෛද්‍යවරුන්ට නීතිඥවරුන්ට පහරදෙන්න යාපනයේ පහුගිය දිනක සිදුවීමක් සිද්ධ වුණා, පොලීසියටත් අල්ලන් ගැහුවා, ගංජා හේන අල්ලන්න කියපු පොලිස් නිලධාරියාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගැහුවා.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීට පෙර ඇඟ බැඳපු කෙනෙක්. මල් පැලයක් නෙවෙයි ගංජ පැලයක්ම තමයි. එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. මේ ආණ්ඩුව හිතනවා නම් මේ රටේ වෛද්‍යවරු. නීතිඥවරු අධිකරණ පද්ධතිය ,ඒ වගේම මේ රටේ ව්‍යාපාරිකයෝ දේශපාලන පක්ෂ තමන්ට ඕනි විදිහට මර්දනය කරලා බය කරලා ආණ්ඩුව අරගෙන යෑම තමයි තමන්ගේ න්‍යාය පත්‍රය කියලා ඉතින් ඒක සාර්ථක වෙන්නෙත් නෑ. ඒ වගේම ඉතින් ආණ්ඩුවට දැනෙන්නේ ආණ්ඩුව දන්නේ ඒ භාෂාව විතරක් කියලාත් අපි දන්නවා මොකද අසූ අට අසූ නමයේ ගොඩනැගිච්ච අයනේ මේ ආණ්ඩුවේ ඉන්නේ"