යළි ගොඩනැගෙන බදුල්ලේ කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් අනුකමිටුවක්
February 6, 2026 02:27 pm
ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රධාන කාර්යභාරය අවදානම හඳුනා ගැනීම බවත් ඒ හරහා කාන්තා සහ ළමා අයිතිවාසිකම් කඩවීම්, අපරාධ සිදුවීම්, අනතුරුදායක තත්ත්වයන් වළක්වාගත හැකි බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සමගාමීව කාන්තා සහ ළමා අනුකමිටුවක් පිහිටුවීම අද (06) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදී අමාත්‍යවරිය මේ බව පැවසුවාය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ අදාළ පසු විපරම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මගින් වින්දිතභාවට පත්වූවන් නැවත නැවත වින්දිතභාවයට පත්වීම වැළැක්වීම, රැකවරණය සහ සුබසාධන සේවා කාර්යක්ෂමව සහ ඵලදායීව කරගැනීම සහ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම යන ඉලක්ක සපුරා ගත හැකි බවය.
බදුල්ල දිස්ත්‍රික්කය තුළ දිට්වා සුළි කුණාටුව හරහා ආපදාවට පත් මව සහ පියා / මව හෝ පියා අහිමි දරුවන් 28 ක් වාර්තා වන බවත් ඒ අතුරින් පවුල් දෙකක් තුළ මව සහ පියා දෙදෙනාම අහිමි දරුවන් 5 ක් වාර්තා වන බැවින් එම දරුවන් සඳහා රැකවරණ සැළසුම් (Care Plan) සකස් කිරීම සහ ඉදිරි මැදිහත්වීම සඳහා අමාත්‍යවරිය විසින් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් වෙත උපදෙස් ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
ක්ෂේත්රය තුළ කටයුතු කිරීමේ දී නිලධාරීන් විසින් තම තම විශය පථයන්ට අදාළව මුහුණ දෙනු ලබන අභියෝග සහ පොදු අභියෝග ඉදිරිපත් කිරීමට ද නිලධාරීන්ට ඉඩකඩ ලැබුණු අතර
බදුල්ල දිස්ත්‍රික්කය තුළ කාන්තා සහ ළමා කටයුතු විශය පථයට අදාළ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ පුරප්පාඩු ඉක්මනින් සපුරා ගැනීම පිළිබඳවද මෙහි දී අමාත්‍යවරියගේ අවධානය යොමු විය.
තවද රාජ්‍ය නිලධාරීන්ට අමතරව ග්‍රාමයන් තුළ කාන්තා සහ ළමුන් වෙනුවෙන් මැදිහත්වීම සිදුකරන පළාත් පාලන ආයතන නියෝජිතවරියන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරගැනීම, රජය විසින් දිස්ත්‍රික්ක හරහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සහ ඒවායේ ප්‍රගතිය සමාලෝචනය යන කරුණු සඳහාද මේ සඳහා අවස්ථාව හිමි වේ.
