බංග්ලාදේශයේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා බංග්ලාදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ කරුණු කියයි

බංග්ලාදේශයේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා බංග්ලාදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ කරුණු කියයි

January 19, 2026   03:29 pm

බංග්ලාදේශයේ වෙසෙන සුළුතර බෞද්ධ ජනතාව සහ අනෙකුත් ආගමික කණ්ඩායම් දැඩි මර්දනයකට සහ ප්‍රචණ්ඩත්වයකට මුහුණදී සිටින බව ශ්‍රී ලංකා බංග්ලාදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ සඳහන් කරයි.

එම පෙරමුණ පෙන්වා දෙන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ලෝකවාසී බෞද්ධ ප්‍රජාව වහා මැදිහත් වියයුතු බවය. 

මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ශාස්ත්‍රවේදී, පූජ්‍ය නුවරඑළියේ කවිස්සර හිමියන් සඳහන් කළේ, චිතගොං කඳුකරය ආශ්‍රිතව ජීවත් වන බෞද්ධ ආදිවාසීන්ගේ හෙට දවස බරපතළ අවදානමකට ලක්වී ඇති බවය.

2024 අගෝස්තු මාසයේදී එරට පැවති අවාමි ලීග රජය බිඳ වැටීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය, බෞද්ධ ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය තවදුරටත් උත්සන්න වීමට හේතුවී ඇතැයි ද උන්වහන්සේ පැවසීය.

2024 - 2025 කාලසීමාව තුළ බංග්ලාදේශයේ සුළුතර ආගමිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා 2,442ක් වාර්තා වී ඇති බවත් සඳහන් කළේය.

ඒ අතරට විහාරස්ථානවලට ප්‍රහාර එල්ලවීම, ඝාතන සහ මංකොල්ලකෑම්, මානව හිමිකම් උල්ලංඝනය යන සිද්ධීන් ඇතුළත් වෙයි.

බෞද්ධයන් පමණක් නොව, බංග්ලාදේශයේ වෙසෙන හින්දු සහ ක්‍රිස්තියානි භක්තිකයන් ද මෙවැනි තර්ජනයන්ට මුහුණදෙන බවත් පූජ්‍ය කවිස්සර හිමියන් පෙන්වා දෙයි.