කාන්තාවකට පහර දුන් පුද්ගලයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

කාන්තාවකට පහර දුන් පුද්ගලයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

January 13, 2026   06:59 am

අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවියක් සමඟ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) පස්වරුවේ මාලබේ තලාහේන ප්‍රදේශයේදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  2025 වසරේ නොවැම්බර් මස 14 වනදා බොරැල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකරුය. 

සැකකරු සතුව තිබූ T56 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැබක්, එම ජීව පතරොම් 10 ක් හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 27 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.