ගලෙන්බිඳුණුවැව ඛේදවාචකය - බරපතළ තුවාල ලැබූ මවටත් දිවි අහිමි වෙයි
January 6, 2026 10:39 am
අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසක් ගිනිතැබීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.
පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු අද (06) අලුයම 2ට පමණ පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා තිබූ අතර, ගින්නට හසුවී 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේ දීම මියගොස් තිබුණි.
ගිනිගැනීමෙන් සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනෙකු සහ නැන්දණිය තුවාල ලබා රෝහල්ගත කර සිටිය දී 36 හැවිරිදි බිරිඳ මෙලෙස මීට සුළු වේලාවකට පෙර ජීවිතයෙන් සමුගත් බව ගලෙන්බිඳුණුවැව පොලීසිය පවසයි.
ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක මෙම ඛේදවාචකය සිදුව තිබූ අතර ගින්නට හසුවු 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි නැන්දණිය තවමත් පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
පියා නිවසට ගිනි තබන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් වන අතර, පිරිමි දරුවා සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණ තිබේ.
පසුව මව සහ සහෝදරියන් බේරාගැනීමට යෑමේ දී පුත්‍රයා ද පිළිස්සුම් තුවාල ලබා ඇත.
ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නිතර මත්පැන් පානය කර බිරිඳට පහරදීම් සිදුකරන බවත් ඔවුන් අතර පවතින ආරවුල් හේතුවෙන් අවස්ථා කිහිපයකදී ගලෙන්බිඳුණුවැව පොලීසිය වෙත පැමිණිලි සිදුකර දෙපාර්ශ්වයට අවවාද කර ඇති බවටත් තොරතුරු අනාවරණය වුණි.
