ගාල්ල නගර සභාව නොසන්සුන්කළ සිද්ධියට අත්අඩංගුවට ගත් 5දෙනාට ඇප

ගාල්ල නගර සභාව නොසන්සුන්කළ සිද්ධියට අත්අඩංගුවට ගත් 5දෙනාට ඇප

December 31, 2025   04:44 pm

ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරිය පෑම හා රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම නගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරිය ඇතුළු පස්දෙනා ඇප මත මුදා හැරීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.

එම සැකකාර නාගරික මන්ත්‍රීවරුන් පිරිස ඊයේ පැවති මහ නගර සභාවේ සභාවාරයේදී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරින් රැඳී සිටින දෙසට වතුර බෝතල්වලින් ප්‍රහාර එල්ල කරන අයුරු දැඩි මතභේදයට තුඩු දුන්නේය.

ඔවුන් එලෙස ක්‍රියාකළේ ඊට පෙර පැවති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇතිවූ ආරවුලකදී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන් ක්‍රියාකළ ආකාරයට විරෝධය පළකිරීම සඳහාය.

එම සිදුවීමේදී සාපරාධී බලහත්කාරය පා රජයේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් එම පිරිස ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ජිලිත් නිශාන්ත (එක්සත් ජාතික පක්ෂය), නිමාලි චම්පිකා (පොදුජන එක්සත් පෙරමුණ), ප්‍රභාත් සෙනවිරත්න (සමගි ජන බලවේගය), එම්.එම්.එම්. යෙසීර් (එක්සත් ජාතික පක්ෂය), කපිල කොහොබන් (එක්සත් ජාතික පක්ෂය) යන පිරිසය.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දහවල් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී ඔවුන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා නියෝග කළේය.