නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 6 වනදාට

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 6 වනදාට

December 31, 2025   04:38 pm

2026 ජනවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (31)  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය දැනුම් දී තිබේ.

මේ අනුව පාර්ලිමේන්තුව ජනවාරි 06 සිට 09 දක්වා රැස්වීමට නියමිතය.

2026 ජනවාරි 06 වන අඟහරුවාදා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ අංක  2371/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ අංක 2428/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගැනීමට නියමිතය.

ඉන්පසු ‍ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ 2025.12.28 දිනැති අංක 2468/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ප්‍රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී තිබේ. කෙසේ වුවද මෙම යෝජනා සම්මතය විවාදයට ගැනීමට වෙන්කළ කාලය ප්‍රමාණවත් නොවන බවට විපක්ෂ මන්ත්‍රීවරු මෙහිදී කාරක සභාවට දැනුම් දී ඇත. 

තවද, මෙදින ප.ව 5.30ට න්‍යාය පුස්තක අංක 3හි දින නියමයක් නොමැතිව සඳහන් කර ඇති පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයාබලා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ස්ථාපිත කිරීමට අදාළ යෝජනා සම්මතය ද අනුමතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2026 ජනවාරි 7 වන බදාදා පෙ.ව 9.30 පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද පෙ.ව 10.30 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද වෙන් කර තිබේ.

ඉන්පසු පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා   කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් නියමිත වී තිබේ. ඉන්පසු ප.ව 5.00 ‍ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමටත් මෙහිදී තීරණය වී ඇත. 

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර තිබේ.

2026 ජනවාරි 8 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා (203 අධිකාරියවූ) මෝටර් වාහන පනත යටතේ අංක 2455/29 සහ අංක 2452/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් විවාදයට ගැනීමට නියමිතය.  

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ‍ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ. 

2026 ජනවාරි 9 වැනි සිකුරාදා  පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 3.00 දක්වා (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ ( සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගය විවාදයට ගැනීමට තීරණය වී ඇත. ඉන්පසු ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2465/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමටත් නියමිතව ඇත. 

අනතුරුව ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.