සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වූ  හානිය අවම කිරීමට IMF සැරසෙයි

සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වූ හානිය අවම කිරීමට IMF සැරසෙයි

December 4, 2025   10:32 pm

රට පුරා ජීවිත බිලිගෙන, දහස් ගණනක් අවතැන් කළ විනාශකාරී සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට වූ හානිය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සූදානමින් පසුවේ.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් IMFහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මේ බව පැවසීය.

ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම ඇගයීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන් සමග සමීපව කටයුතු කරන බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළාය. 

"සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත්ව තිබේ. එම පදනම මත මිනිස් ජීවිත හානිවලට අමතරව ආර්ථික ක්‍රියාකාරකම්වලටත් අහිතකර ලෙස බලපානු ඇතැයි අපි අපේක්ෂා කරනවා" ලෙසින් එහිදී ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාව දැනට එහි හවුල්කරුවන් සමග එක්ව කඩිනම් පශ්චාත් ආපදා හානි තක්සේරුවක් සිදු කරමින් සිටී. 

මෙම තක්සේරුව අවසන් වූ පසු ආර්ථික ඇඟවුම් පිළිබඳ පැහැදිලි බවත් ලැබෙනු ඇතැයි ඇය පවසයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) සම්බන්ධයෙන් කොසැක් මහත්මිය තහවුරු කළේ, මෙරට ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට සහායවීමට IMF කැපවී සිටින බවය. 

"EFF ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිමත් වීම, ප්‍රතිසංස්කරණය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අපි අඛණ්ඩව සහාය දක්වනවා" ලෙසින් ද එහිදී වැඩිදුරටත් ඇය පැවසීය.

සුළි කුණාටුවට පෙර පසුගිය ඔක්තෝබර් මාසයේ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ IMF කාර්ය මණ්ඩලය දැනටමත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇති බව එහිදී ඇය අවධාරණය කළාය.

එමෙන්ම ඇය පැවසුවේ IMF කාර්ය මණ්ඩලය මේ වනවිට ප්‍රතිසාධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම සඳහා විකල්ප සොයා බලමින් සිටින බවත්, දෙසැම්බර් 15වනදා  IMF මණ්ඩල රැස්වීම පැවැත්වීමේ අපේක්ෂාවෙන් සිටින බවත්ය.

ආර්ථික අවශ්‍යතා සහ හානි පිළිබඳ වැඩිදුර තොරතුරු අප සතුව ඇති බැවින්, එම තොරතුරු ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය විය හැකි ආකාරය පිළිබඳ ලබාගන්නා අවසන් තීරණයවලට හේතු විය හැකි බවද ජූලි කොසැක් මහත්මිය වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේ දී ඇය ගංවතුරෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල ජනතාවටද සිය කනගාටුව ප්‍රකාශ කළාය.