
අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිදුවීමක් සම්බන්ධව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිභාහිරව රාජකාරි සිදුකරනු ලබන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් අදාළ විමර්ශන සිදු කෙරෙන බව පොලීසිය සඳහන් කළේය.
තම පියාට පොලිස් නිලධාරීන් විසින් පහර දී තිබෙන බව පවසමින් අයෙකු අදාළ පොලිස් ස්ථානය තුළ කලහකාරී අන්දමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වී තිබුණි.
පොලීසිය පැවසුවේ අදාළ වීඩියෝවේ පියා ලෙසින් හඳුන්වන වියපත් පුද්ගලයා ඊයේ (24) දින රාත්‍රියේ බීමත්ව අශෝබන ලෙස මාර්ගයක සැරිසැරීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔහුව එම අවස්ථාවේම අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ බවය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරු දිවයාමට උත්සාහ දරා ඇති බවත් දිව යාමට නොහැකිව ඇද වැටී සිදුවූ රුධිර වහනය වීමක සලකුණු වීඩියෝවේ දර්ශනය වන බවද පොලීසිය සඳහන් කළේය.
කෙසේ වෙතත් එම පුද්ගලයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (25) බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලදාරීයා විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිණි.
එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පුද්ගලයාව ඇප මත මුදා හැරීමටද නියෝග කර තිබේ.

















































