අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට
November 28, 2025 10:23 pm
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් බදුල්ලේ සහ මහනුවර පමණක් මේ දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව 85 දක්වා අද ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින් අදත් නායයෑම් කිහිපයක්ම වාර්තා විය.
මහනුවර හසලක පමුනුපුර ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදන්ව තිබේ.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසුවේය.
එමෙන්ම නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකු අතුරුදන්ව සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර කෑගල්ල බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නිවාස නිවාස 05ක් නායයෑමට ලක්ව තිබේ.
එම නිවෙස්වල සිටි පුද්ගලයින් 12දෙනෙකු පමණ අතුරුදන්වී සිටින අතර එම ස්ථානයට ළඟා වීම ද දුෂ්කර වී ඇති බව වාර්තා වේ.
මේ අතර අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම අගය දැක්වුණේ මිලිමීටර් 540.6ක් ලෙසය.
ඊට අමතරව මාතලේ කන්දෙනුවර, කෑගල්ල ඩොතෙලෝයා වතුයාය, මහනුවර නිල්ලඹේ සහ මහනුවර මාරස්සන යන ප්‍රදේශ සඳහා ගතවූ පැය 24 තුළ මිලිමීටර 400 ඉක්මවූ තද වැසි ඇද හැළුණි.
''දිට්වා'' සුළිකුණාටුවේ බලපෑමෙන් මේ වනවිටත් දිස්ත්‍රික්ක රැසකට ධාරාණිපාත වැසි ඇදහැලෙමින් පවතියි.
මෙම ධාරාණිපාත වර්ෂාව හමුවේ මහවැලි , කැලණි , කළු සහ මැණික් ගංඟා ආශ්‍රිතව මෙන්ම දැදුරුඔය, මහඔය, කලාඔය, සහ මල්වතුඔය ආශ්‍රිත ප්‍රදේශ රැසක මහා ගංවතුර තත්ත්වයක් ඇති විය.
කළු ගග ද්‍රෝණියට ඇදැහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේත් කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ රැසක් ද ජලයෙන් යට වී ඇත.
එමෙන්ම මහවැලි ගඟ පේරාදෙණිය හා නාවලපිටිය ප්‍රදේශවලින් පිටාර ගැලීමෙන් මහ ගංවතුර තත්ත්වයක් ඇති විය.
මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පැවතීම හේතුවෙන් ගම්පහ නගරය සදහා විශේෂ ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ පියවර ගත්තේය.
එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ අත්තනගලුඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඉදිරි පැය කිහිපයේ ඇතිවිය හැකි බවය.
එම තත්ත්වයෙන් ජීවිත සහ දේපළ ආරක්ෂා කරගැනීමට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
