ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති 12 වැනි ගුණානුස්මරණය එළැඹෙන 27 වැනිදා 

ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති 12 වැනි ගුණානුස්මරණය එළැඹෙන 27 වැනිදා 

November 23, 2025   01:54 pm

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් මහතාගේ 12 වැනි ගුණානුස්මරණය උත්සවය එළැඹෙන 27 වැනි දින එම විදුහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජික මෙන්ම විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙකු වූ අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

1932 වසරේ ඔක්තෝබර් මස 03 වැනි දින ගාල්ල ප්‍රදේශයේ උපත ලැබූ රැල්ෆ් ඉග්නේශස් අලස් මහතා සිය මූලික අධ්‍යාපනය ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් හා මාතර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් හදාරනු ලැබීය.

පසු කළෙක ගුරු වෘත්තිය සමගින් සිය වෘත්තිය ජීවිතය ඇරඹු ඒ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේද වසර ගණනාවක් සේවය කළ අතර එවකතට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතාගේ හා එවකට කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිගේ ආරාධනයෙන් කොළඹ ඩී.එස් සේනානායක කනිෂ්ඨ විද්‍යාලය නමින් ඇරඹු නව විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත්විය.

එතැන් පටන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ශ්‍රී ලංකේය පාසල් ක්ෂේත්‍රය තුළ ඉහළින්ම බබළවන්නට එතුමන් විශිෂ්ට මෙහෙයක් සිදුකළ අතර පසුකළෙක කොළඹ ගේට්වේ විද්‍යාලය ද ආරම්භ කරමින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයටත් සමස්ත සමාජයටත් එතුමන් කළ සේවය අතිමහත්ය.

එවන් මා හැඟි සේවාවක් ඉටුකළ එතුමන් 2013 වසරේ නොවැම්බර් 28 වැනිදා දිවි සැරිය  නිමකළ අතර ඒ "ආර්.අයි.ටී.අලස්" යන නාමය ශ්‍රී ලංකා ඉතිහාසය තුළ රන් අකුරින් ලියවුණු සදානුස්මරණීය නාමයක් බවට සැමට පසක් කරමිනි.