ගුවන්තොටුපොළේ ඇතහැර දමාගොස් තිබූ පාර්සලයක කෝට් 11ක කුෂ්

ගුවන්තොටුපොළේ ඇතහැර දමාගොස් තිබූ පාර්සලයක කෝට් 11ක කුෂ්

November 18, 2025   08:50 am

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් රාජසන්තක කරන ලද සහ ගුවන් මගීන් විසින් අත්හැර දමන ලද ගමන් මලු සහ භාණ්ඩ රඳවා තබන ගුදම් ගබඩාව තුළ තිබී " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් හමුව තිබේ.

රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (17) සිය භාරයට ගත් එම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් 113,670,000කට අධික බව සඳහන් වේ.

මෙම ගමන් මල්ල ඉකුත් මාර්තු මස 17 වනදා උදෑසන 09.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු විසින් රැගෙන විත් , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්හැර දමා ගොස් තිබූ එකකි.

පසුව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම ගමන් මල්ල ගුවන් තොටුපොළේ අත්හැර දමා ඇති ගමන් මලු ගබඩාවේ තබා, ඉන්පසුව කොළඹ වරාය තුළ පිහිටි රාජසන්තක කරන ලද සහ අත් හැර දමා ඇති පාර්සල් තබන ගුදම වෙත මාරු කර යවා තිබේ.

මාස 09 ක කාළයක් මෙම ගමන් මල්ල භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන්, එය විවෘත කර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන ඇත.

එහිදී පොලිතීන් ඇසුරුම් තුළ සඟවා සකස් කර තිබූ මෙම කිලෝ ග්‍රෑම් 11 යි ග්‍රෑම් 367 ක් බරැති "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය හමුව තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.