ගිනි තැබූ නිවාසවලට වන්දි අය කරගත් ආකාරය අභියෝගයට ලක්කරමින් පෙත්සමක්
November 13, 2025 02:09 pm
පසුගිය අරගල සමයේ නිවාස වලට ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය අභිබවා වන්දි ලබා ගත් මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අයකර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
පරිසර නීතිවේදියෙකු වන ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එය ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද(13) කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමේ ඇතැම් වගඋත්තරකරුවන්ගේ නිවැරදි ලිපින අධිකරණය හමුවේ ගොනුකර නොමැති බව සඳහන් කළේය.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ නිවැරදි ලිපින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියම කර ඇත.
අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම යළි ජනවාරි 28 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ පසුගිය පෙබරවාරි 5 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් 2022 වසරේ මැයි 09 වනදා දිවයින පුරා මැති ඇමතිවරුන්ගේ නිවාසවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකිරීමේ සිද්ධීන් වලට අදාළව එවක රජය විසින් 43 දෙනෙකුට රුපියල් බිලියන 1.22 ක මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇති බවය.
ඊට පසුගිය රජයේ මැති ඇමතිවරුන් ගණනාවක් ඇතුළත් වන බවට ඔහු සඳහන් කර තිබූ බව ද පෙත්සම්කරු සඳහන් කළේය.
පවතින නීති රීති වලට අනුව ස්වාභාවික ආපදාවකදී වුවද සිදුවන හානි වෙනුවෙන් ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක් බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇත.
එහෙත් ඇතැම් හිටපු ඇමතිවරු එම නීතිමය සීමාව ඉක්මවා වන්දි මුදල් ලබාගෙන ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු චෝදනා කළේය.
මෙලෙස නීතිය ඉක්මවා රජය විසින් තෝරාගත් පුද්ගලයින්ට විශාල වන්දි මුදල් ගෙවීම මගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිට තිබේ.
ඊට අමතරව මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙසත් ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇති බව සදහන්වේ.
