වනඅලි රක්ෂිතවලට පන්නන්නේ අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බවට අනාවරණයක්
November 5, 2025 01:42 pm
හම්බන්තොට සහ අනුරාධපුර යන ප්‍රදේශවල ක්‍රියාත්මක වනඅලි රක්ෂිත තුළට පැන්නීමේ මෙහෙයුම්වලට පරිසර අමාත්‍යංශය අනුමැතියක් ලබා දී නොමැති අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් ද නොමැති බව එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසයි.
"අද දෙරණ" කළ විමසීමක දී ඔහු සඳහන් කළේ අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් මෙම වනඅලි පැන්නීමේ මෙහෙයුම පිළිබඳ දැනුවත් වුයේ ඒ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා පළ වීමෙන් අනතුරුව බවය.
ඒ අනුව අදාළ මෙහෙයුම් වහාම අත්හිටුවන ලෙසට පරිසර අමාත්‍යංශය විසින් වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්ය.
අලි මිනිස් ගැටුම විසදීම සඳහා අලි මිනිස් ගැටුම කළමනාකරණය සදහා වු ජාතික සැලැස්මක් ක්‍රියාත්මක වන පසුබිමක මෙවැනි මෙහෙයුමක් ආරම්භ කිරීම අනුමත කළ නොහැකි බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.
වනඅලි මහාපරිමාණ ලෙස රක්ෂිත තුළට පැන්නීම අලිමිනිස් ගැටුමට කිසිසේත්ම විද්‍යාත්මක විසදුමක් නොවන බව අමාත්‍යංශයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.
අලි මිනිස් ගැටුම කළමනාකරණය සදහා වු ජාතික සැලැස්මට අනුව මේ වනවිට තබ්බෝව සහ කළා වැව යන වැව් රක්ෂිතවල වන අලීන් සඳහා පෝෂණ කළාප සකස් කිරීම, පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක අක්කර 70ක පමණ තෘණ වගාවන්ට බලපෑමක් කරන අන්දර වැනි ආක්‍රමණික ශාක ඉවත්කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව සඳහන්ය.
එමෙන්ම අලි වැට ශක්තිමත් කිරීම සඳහා නව නිලධාරීන් බඳවා ගැනීමට මෙන්ම වනජීවි දෙපාර්තමේන්තුව සඳහා කැබ් රථ 100ක් සහ යතුරු පැදි 180ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.
මේ අතර නව වනජීවී නිලධාරීන් 600ක් බඳවා ගැනීමට ද අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වු ජාතික සැලැස්මට ඇතුළත් වේ.
මේ වන විට වන අලීන්ගෙන් සියයට 60ක ප්‍රමාණයක් රක්ෂිත වලින් පිටත රැඳී සිටින බවට වාර්තා වන අතර ගම්බද ප්‍රදේශවල තිබෙන ආහාර හේතුවෙන් මෙලෙස වන අලි රක්ෂිත තුළට ගමන් නොකරන බව සඳහන්ය.
ඒ අනුව රක්ෂිත ප්‍ර දේශවල තෘණ වර්ග ඇතුලු වන අලින් සදහා අවශ්‍ය ආහාර සුලබ කිරීම හරහා ගම්වදින වන අලීන් අවම කර අලි කොරිඩෝ සකස්කර අලිවැට ශක්තිමත් කිරීම අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වු ජාතික සැලැස්මේ ප්‍රධාන අරමුණ බවයි පරිසර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලයධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත් අනුරාධපුර සහ හම්බන්තොට යන ප්‍රදේශවල ගම්වැදී ඇති වනඅලි පලවා හැරීම සඳහා පසුගිය නොවැම්බර් 2වනදා සිට මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.
ඊට වනජීවී නිලධාරීන්, ගුවන් හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය ඒකාබද්ධව නිලධාරින් 2000ක් පමණ එක්වු බව වාර්තා විය.
