අවශ්‍යතාව පරිදි පෙරපාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඒකාබද්ධ කිරීමේ සැලැස්මක්

අවශ්‍යතාව පරිදි පෙරපාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඒකාබද්ධ කිරීමේ සැලැස්මක්

September 8, 2025   06:19 pm

පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිපත්ති හා විෂයමාලා රාමුවේ කෙටුම්පත, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව ක්‍රියාත්මක කිරීම සහ ඒ පිළිබඳ ව ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන යන මහත්ම මහත්මීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

2024 නොවැම්බර් 25 දින හා 2412/08 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී ඇති වගකීම් ප්‍රකාර ව එම අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල්ළමාවිය සංවර්ධනය පිළිබඳ ව ජාතික ළමා ලේකම් කාර්යාලය හා එක් ව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය යන ආයතනවල හා මුල්ළමාවිය අධ්‍යාපනය සම්බන්ධ සියලු පළාත් අධ්‍යක්ෂවරුන්ගේ මෙන් ම යුනිසෙෆ් ආයතනයේ ද තාක්ෂණික සහයෝගය ලබාගනිමින් මෙම පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිපත්ති හා විෂයමාලා රාමුව කෙටුම්පත් කර ඇති අතර පෙරපාසල් අධ්‍යාපනය සහ මුල්ළමාවිය සංවර්ධනය පිළිබඳ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග එක් ව එහි ප්‍රායෝගික වලංගුභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරු ව අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කිරීම සඳහා සකස් කර ඇත.
  
පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ සියලු ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ව ද මෙම වැඩසටහනේ දී අවධාරණය කෙරුණු අතර පෙරපාසල් පිළිබඳ ජාතික සංගණනයක් සිදු කිරීම, සියලු පෙරපාසල් ලියාපදිංචි කිරීම, අවම ප්‍රමිතීන් හෝ සපුරා නොමැති පෙරපාසල් සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමේ ක්‍රියාමාර්ග, පෙරපාසල් ගුරුවරුන්ගේ පුහුණුව හා එම ගුරු පුහුණු ආයතන ලියාපදිංචි කිරීම යන කරුණු කාරණා පිළිබඳ ව ද මෙහි දී සාකච්ඡා කර තිබේ.

අවශ්‍යතා හා අදාළත්වය මත පෙරපාසල්වල ම දිවා සුරැකුම් මධ්‍යාස්ථාන ඇති කිරීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙම කාර්ය සාර්ථක කරගැනීමට යුනිසෙෆ් ආයතනය විසින්‍ මේ දක්වා ලබා දුන් සහයෝගය කෘතවේදී ව සිහිපත් කළ අතර යුනිසෙෆ් ආයතනය මගින් අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ඉදිරියටත් අඛණ්ඩ ව ලබා දෙන බවට එම ආයතනයේ අධ්‍යාපන ප්‍රධානී එරින් ටේනර් මහත්මිය විසින් මෙහි දී එකඟතාව පළ කරන ලදි.