වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම ගැන අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
July 5, 2025 05:55 pm
වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වන අවධානය ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදී මේ රටේ තීරණාත්මක විෂයක් බවට වෘත්තීය අධ්‍යාපනය පත් කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
විධිමත් ආකර්ෂණීය ආයතන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් දිවයින පුරා වෘත්තීය අධ්‍යාපන ආයතන කේන්ද්‍ර කර ගනිමින් Clean Sri Lanka ව්‍යාපෘතිය හා එක්ව ඊයේ (04) ආරම්භ කළ "ශ්‍රම මෙහෙයුම" වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ගම්පහ කාර්මික විද්‍යාලයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
''වෘත්තීය අධ්‍යාපනය කේන්ද්‍රකරගෙන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රම මෙහෙයුම වැඩසටහන ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කීරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රම මෙහෙයුම වැඩසටහන තුළින් ආරම්භයක් ලබාගත්තට අපි මේ උත්සාහ කරන්නේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩි අවධානය ලබා ගන්නයි. වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම ගැන රටටම පෙන්නුම් කරන්නයි. වෘත්තිය අධ්‍යාපන ක්ෂේත්‍රය තමයි ඉදිරියේ මේ රටේ තීරණාත්මක විෂය බවට පත්වෙන්නේ. වැඩ ලෝකයට අවශ්‍ය මානව සම්පත බිහිවෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්. හැබැයි අපි බොහෝ දෙනෙක් සහ රටත් බොහෝ වෙලාවට හිතන්නැති අවධානයක් දෙන්න නැති කොටස තමයි ඒ වැඩ ලෝකයට අවශ්‍ය මානව සම්පත බිහිකරන වෘත්තීය අධ්‍යාපන අංශය. අපි දන්නවා දැනට සමාජය තුළ ටෙක් එක ගැන තියෙන්නේ අර ඉස්කෝලෙ ගිහිල්ලා විශ්වවිද්‍යාලයට යන්න බැරි උනොත් යන්න පුළුවන් තැනක් කියන මතය. එහෙම නැත්නම් අනිත් තෝරා ගැනීම් ඔක්කොම කරලා ඒවා හරි ගියේ නැත්නම් නිකන් වැටෙන තැන වගේ අදහසක් එක හරිම වැරදියි. වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීම අතිශයින්ම වැදගත් බුද්ධිමත් සහ රටේ සංවර්ධනයට අතිශයින්ම වැදගත් තීරණයක්.
වෘත්තීය අධ්‍යාපනය හදාරන්න ගන්න තීරණය අහම්බයක් වෙන්න බෑ, නොදැනුවත්කමින් හෝ අන්තිම මොහොතේ ගන්න තීරණයක් වෙන්නත් බෑ. ඒක තමන්ගේ හැකියාව, තමන්ගේ කැමැත්ත තමා ලෝකය පිළිබඳව දරන අදහස් මේ සංකල්ප සියල්ලමත් එක්ක ගන්න ඉතාමත්ම වැදගත් තීරණයක් බවට පත්වෙන්න ඕනේ. ඒ නිසාම තමයි අපි 2026 තුළ ක්‍රියාත්මක කරන්න නියමිත ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වෘත්තීය අධ්‍යාපනයට විශේෂ තැනක් වෙන් කළේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක පොඩි වැඩක් නෙවෙයි. ඒක විෂයක් මාලාව වෙනස් කරන එකට එහා ගිය දැවැන්ත වැඩක්.''
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා,
''වෘත්තීය පුහුණුව ලබාදෙන රජයේ ආයතන තුළ පාඨමාලාවන් රැසක් තිබෙනවා. ඒ ආයතනවලට දිවයින පුරා දරුවන් එනවා. සමහර විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිසුන් පවා ඇවිල්ලා අද මේ ආයතනයවල අධ්‍යාපනය හදාරනවා. සමහර පුහුණු ආයතනවලට සිසුන් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි හිතනවා ඒකටත් හේතුව අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන වැරැද්දක් කියලා. කම්කරු අමාත්‍යංශය යටතේ පුහුණු ආයතන තිබෙනවා ඉදිරියේදී ඒ ආයතනත් ශක්තිමත් කරලා පුහුණුව ලබා දෙන්න අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා.