පොලීසිය සමග ගැටුමෙන් පසු අත්අඩංගුවට ගත් 5දෙනා රිමාන්ඩ්

පොලීසිය සමග ගැටුමෙන් පසු අත්අඩංගුවට ගත් 5දෙනා රිමාන්ඩ්

June 10, 2025   04:23 pm

බේරුවල ධීවර වරාය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද (10) සවස කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබුණේ සැකකරුවන් පස්දෙනාම එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ය.

බේරුවල ධීවර වරාය ආසන්නයේදී ඊයේ (09) රාත්‍රියේ පොලීසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබුණි.

ඒ එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පිරිස පොලීසියට පහරදුන් බව කියන සිද්ධියක් හේතුවෙනි.

පසුව තත්ත්වය පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩිතබා තිබූ බවද වාර්තා විය.

පිරිසක් ලොරි රථයක නැග බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇති අතර,  මාර්ගය අවහිර නොකරන ලෙසට පොලීසිය ඔවුන්ට උපදෙස් දීමෙන් පසු මෙම සිද්ධිය ඇතිවී තිබේ.