ලස්සන බස් දෙකකට හිමිකම් කියන පාසල් සිසුවා

ලස්සන බස් දෙකකට හිමිකම් කියන පාසල් සිසුවා

May 21, 2025   11:35 am

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම ආඩියාගල ප්‍රදේශයේ පදිංචි දහතුන් වන වසරේ ඉගෙනුම ලබන පැතුම් දිල්ෂාන් සිසුවා දෙමව්පියන් පාසල් අධ්‍යාපනය සඳහා ලබා දෙන මුදලකින් සිය කාර්මික දැනුම උපයෝගී කරගෙන අලංකාර බස්රථ දෙකක් නිර්මාණය කොට තිබේ.

ඉතාම කුඩා බස්රථ දෙක කාඩ්බෝඩ් සහ විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගෙන බස් රථයක ඇති සියලුම උපාංග ඉතා සියුම්ව ඇතුළත සහ පිටත එය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

කුඩා අවදියේ සිට පැතුම් දිල්ෂාන් සිසුවා වාහනවලට වැඩි ඇල්මක් දක්වමින් සිටි බවත් ඒ අනුව ඔහුට විවිධ වාහන අලංකාර ලෙස නිර්මාණය කිරීම සිදුකරමින් සිටි බව කුලී වැඩකරන දෙමව්පියෝ පවසති.

කෙසේ වෙතත් මාස කිහිපයක් මහන්සි වී රුපියල් විසි දහසක පමණ මුදලක් වියදම් කරමින් ඔහුට කාඩ්බෝඩ්  කුඩා බල්බ් සහ විවිධය ද්‍රව්‍යයන් උපයෝගී කරගෙන නිර්මාණය කොට ඇති මෙම බස් රථ දෙක ඈතට දුටු විට සත්‍යය බස් රථයක් ලෙස පෙනෙන්නට තිබේ.

මෙම බස් රථවල අලංකරණය නිමාව සියල්ලම ඉතාමත් ඉහළ මට්ටමකින් පැවතීම විශේෂත්වයකි. බස් රථය ඇතුළත මගී ආසන ද ඉතා සියුම්ව සකසා තිබීම ඉතා විශිෂ්ට මට්ටමකින් පවතී.

තම බලාපොරොත්තුව සහ මෙම නිර්මාණ පිළිබඳව අදහස් දැක්වූයේ ආඩියාගල මහින්ද මහා විද්‍යාලයේ දහතුන් වැනි වසරේ අධ්‍යාපනය ලබන පැතුම් දිල්ෂාන් අප සමඟ මෙසේ පැවසීය

"මම ගොඩක් ආසයි වාහනවලට එනිසා මම මූලිකව වාහනයක ඇන්ජිම ඒවගේම ඒවායේ ඇති අංග උපාංග පිළිබඳව අධ්‍යනයක නිරත වුණා. මගේ පුංචි කාමරය පුරා ඒවා සවිකරලා රූප රාමු ඇඳලා ඉගෙන ගත්තා. මම මුලින්ම ගොයම් කපන යන්ත්‍රයක් ඒවගේම විවිධ වාහන කාඩ්බෝඩ් උපයෝගී කරගෙන නිර්මාණය කළා. පස්සේ මට හිතුණා විශේෂ චාරිකා යන රටේ ලස්සන බස් රථයතයක් නිර්මාණය කරන්න කියලා, ඒ අනුව තමයි බස්රථ දෙකක් හැදුවේ කාලයක් ගන්න සිද්ධ වුණා මොකද අධ්‍යාපන කටයුතු අතපසු කරගන්නේ නැතුව මේවා හැදුවේ.

ඒවගේම හරිම සියුම් හින්දා අමාරු වුණා හදන්නත්.බස්රථ දෙක හදලා අවසන් වුණාම හරිම සතුටක් තියෙන්නේ. මගේ තාත්තා කුලි වැඩ කරන්නෙ, අම්මා අසනීපයි ගෙදර ඉන්නේ. අපිට ඉහළ තාක්ෂණයක දැනුම ගන්න තැනක් නැහැ. කොහොම වුණත් මම සස් අධ්‍යාපනය අවසන් කරලා බස්රථ කාර්මිකයෙක් වගේම බස් රථයක අයිතිකරුවෙක් වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ."