පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය
April 22, 2025 01:44 pm
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය පළ කර තිබේ.
එම සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමි විසින් බලවත් ශෝකය ප්‍රකාශ කර ඇත.
අවස්ථා කීපයකදීම තමාට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙක් බව පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ සඳහන් කළහ.
2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.
උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.
සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.