ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි

ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි

March 21, 2025   03:43 pm

ජාත්‍යන්තර වනාන්තර දිනය අද (21) දිනට යෙදී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වන දා ජාත්‍යන්තර දිනය අර්ථාන්විතව සමරනු ලැබේ.

මෙවර එහි තේමාව වන්නේ වනාන්තර සහ ආහාර යනුවෙනි.

ආහාර සුරක්ෂිතතාව, පෝෂණය හා ජීවනෝපාය කෙරෙහි වනාන්තර මඟින් දක්වන දායකත්වය සම්බන්ධයෙන් මෙහිදී ඇගයීමට ලක්කරනු ලැබේ.

මෙවර ජාත්‍යන්තර වනාන්තර දිනයට සමගාමීව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද විශේෂිත වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි.

ඒ අනුව ජාත්‍යන්තර වනාන්තර දිනයේ තේමාව හා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වය අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කවල රුක් රෝපණ වැඩසටහනක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි.

එම වැඩසටහනේ සමාරම්භය පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බරාව - වටරැක ප්‍රදේශයේ දී පැවැත්වුණි.

එහිදී බරාව - වටරැක පුස්සැල්ලෑ ඔය ආශ්‍රිතව පිහිටි රජයේ ඉඩමක හෙක්ටයාර 0.4ක ප්‍රමාණයක ආහාර සපයන ශාක ඇතුළු දේශීය ශාක වගා කිරීමට සැලසුම් කර තිබේ.

එම ශාකවල ඵලදාව වනාන්තර ආශ්‍රිත ප්‍රජාවන්ට පරිභෝජනය කිරීමට හැකි වන පරිදි සැලසුම් කර ඇත.