වියට්නාම නියෝජ්‍ය කථානායක ප්‍රමුඛ දූත පිරිසක් අද දිවයිනට

වියට්නාම නියෝජ්‍ය කථානායක ප්‍රමුඛ දූත පිරිසක් අද දිවයිනට

March 19, 2025   08:42 pm

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ආරාධනයකට අනුව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික සභාවේ උප සභාපති (නියෝජ්‍ය කථානායක) යෙන් ඩක් හායි මහතා ඇතුළු පාර්ලිමේන්තු දූත පිරිසක්, සිව් දින නිල සංචාරයක් සඳහා අද (19) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව, දූත පිරිස හෙට (20) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව ඇති බව සඳහන් වේ.

දූත පිරිසේ පාර්ලිමේන්තු සංචාරය අතරතුර ශ්‍රී ලංකා - වියට්නාම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් හමුවීමට මෙන්ම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරය සැමරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද නියමිතය.

එසේම දූත පිරිස මෙරට වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
 
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ද්විපාර්ශ්වික සබඳතා නව දිශාවකට යොමු කිරීමට මෙම සාකච්ඡා තුළින් අපේක්ෂා කෙරේ.

දූත පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තුවේ රැස්වීම නැරඹීමට සහ පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වීමට ද කාලය වෙන් කර ඇත.

තවද, සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔවුන් වියට්නාමයේ හිටපු ජනාධිපති හෝ චි මිං මහතාගේ කොළඹ පිහිටි ප්‍රතිමාවට ගෞරව දැක්වීමට සහ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා හමුවීමට සැලසුම් කර තිබේ. 

එසේම දූත පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට නියමිත වැඩිදුරටත් සඳහන් වේ.