කලකට පසු ජෝ රූට් එංගලන්ත එක්දින කණ්ඩායමට

කලකට පසු ජෝ රූට් එංගලන්ත එක්දින කණ්ඩායමට

December 22, 2024   09:45 pm

වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ප්‍රබලම පිතිකරුවා ලෙසින් සැලකිය හැකි එංගලන්තයේ ජෝ රූට් යළිත් වරක් එරට එක්දින සංචිතයට කැඳවීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

එංගලන්තය කණ්ඩායම ලබන වසර ආරම්භයේදී සිදුකිරීමට නියමිත ඉන්දීය සංචාරය සහ ඉන් අනතුරුව ඇරඹෙන 'ශූරයන්ගේ කුසලානය' වෙනුවෙන් මෙම කැඳවීම සිදුකර තිබේ.

ජෝ රූට් ඉකුත් 2023 වසරේ නොවැම්බර් මාසයේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු මේ දක්වා එංගලන්තය නියෝජනය කරමින් කිසිදු සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයකට හෝ ක්‍රීඩාකර නොමැත.

කෙසේ නමුත් එක්දින තරගවලදීද කැපී පෙනෙන පිතිකරුවෙකු ඔහු, එංගලන්තය නියෝජනය කරමින් එක්දින ඉනිම් 160කදී ලකුණු 6,522ක් රැස්කර තිබේ.

ඔහුගේ දක්ෂතා අතර ශතක 16ක් හා අර්ධ ශතක 39ක් වෙයි.

වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ අංක එකේ පිතිකරුවා ජෝ රූට්, ටෙස්ට් ලකුණු 12,972ක් රැස්කර 13,000 කඩයිම ආසන්නයට පැමිණ සිටියි.

ශතක 36කට හා අර්ධ ශතක 65කට හිමිකම් කියන ඔහු තවමත් 33 හැවිරිදි වියේ පසුවෙයි.

'ශූරයන්ගේ කුසලානය' සඳහා එංගලන්ත කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව යාමට පෙර ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ඉන්දීය සංචාරය සිදුකරනු ලබයි.

එහිදී ඔවුන් ඉන්දියාව සමගින් විස්සයි20 තරග 5කට සහ එක්දින තරග 3කට ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.