ගෝල් මාවල්ස් හිමිකරු ප්‍රබල කොදෙව් ක්‍රීඩකයාට කළ යෝජනාව අධිකරණයේදී හෙළිවෙයි
සයුරෙන් එතෙර

ගෝල් මාවල්ස් හිමිකරු ප්‍රබල කොදෙව් ක්‍රීඩකයාට කළ යෝජනාව අධිකරණයේදී හෙළිවෙයි

December 13, 2024   06:24 pm

මහනුවර,  පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ප්‍රේම් තාකූර් ලබන16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ අංශය විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන අද (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට පමුණුවනු ලැබීය.

ක්‍රීඩා වැරදී වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කරන මෙම සැකකරු තම කණ්ඩායමේ ක්‍රීඩා කරන බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකු වන ඇන්ඩෲ ෆ්ලෙචර් නමැත්තාට තරග පාවාදීම සඳහා යෝජනා කර තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පැවසීය. 

තමා නම්කරන පන්දු යවන්නන්ට අදක්ෂ ලෙස ක්‍රීඩා කරන ලෙස මෙම සැකකරු විසින් අදාළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයාට යෝජනා කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 15,000ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේය. 

මේ ආකාරයෙන් කටයුතු කළහොත් තවත් ඇමරිකානු ඩොලර් 30,000ක මුදලක් ලබාදෙන බවටත් එම ක්‍රීඩකයාට මෙම සැකකරු විසින් පොරොන්දු වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුට එරෙහිව වෝහාරික මෙන්ම අනෙකුත් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා  සඳහන් කර තිබුණි. 

ඒ අනුව මෙම සැකකරු ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. 

තමා සිදුකළ වරද සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මෙම සැකකරු විසින් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් නම් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කඩිනමින් සලකා බැලිය හැකි බවත් එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේය. 

මෙහිදී සැකකාර ඉන්දීය ජාතිකයාගෙන් මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් දැයි යන බවයි. 

එම අවස්ථාවේදී සැකකරු සඳහන් කළේ තමා එවැනි ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවයි. 

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ලබාදීම පිළිබඳව හොඳින් සිතා බලා ඒ පිළිබඳව මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සැකකරුට දැනුම් දුන්නේය. 

ඉන් අනතුරුව අදාළ සැකකරුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්‍ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ පොලිස් ඒකකයට නියෝග කළේය.