පවුලක් සුනුවිසුනු කළ අනතුරරේ කරුණු රැසක් හෙළිවෙයි
December 12, 2024 10:29 pm
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව කොටසේදී ඊයේ (11) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ දොලොස් හැවිරිදි හා දස හැවිරිදි පාසල් දැරියන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව මේ වන විට කරුණු රැසක් අනාවරණ වී තිබේ.
ඒ අනුව පොලිසිය පැවසුවේ,මෝටර් රථය පැදවූ පියාට නින්ද යෑමෙන් අනතුර සිදුව ඇතැයි සැකකරන බවය.
මාතර - නූපේ ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි ඉසුරි රදීෂා සිය නැගණිය වන දස හැවිරිදි සෙනුලි දම්සරා හා මව්පියන් සමඟ ඊයේ නාරහේන්පිට පෞද්ගලික රෝහලකට පැමිණ ඇත්තේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහායි.
ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් සිය මෝටර් රථයෙන් නිවස බලා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දෙසට ගමන් කරමින් සිට තිබේ.
ඔවුන් ගමන්ගත් මෝටර් රථය රාත්‍රී 11ට පමණ පින්නදූව සහ ඉමදූව අතර කොටසේදී අනතුරට ලක්ව ඇත්තේ ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පසුපස කොටසේ ගැටීමෙනි.
ඒ වනවිට දස හැවිරිදි සෙනුලි දම්සරා සිය මවගේ ඇකයේ, මෝටර් රථයේ ඉදිරිපස මගී අසුනේ ගමන් කර ඇති අතර දොලොස් හැවිරිදි ඉසුරි රදීෂා ගමන් කර ඇත්තේ පසුපස අසුනේයි.
අනතුරින් තුවාල ලැබූ මව, පියා හා දියණියන් දෙදෙනාම එම අවස්ථාවේදීම මාර්ගයේ ගමන්ගත් පිරිස් එක්ව රෝහල්ගත කර තිබේ.
කෙසේවෙතත් මවගේ ඇකයේ ගමන්ගත් දස හැවිරිදි දැරිය ඒ වන විටත් මියගොස් සිට ඇති අතර දොලොස් හැවිරිදි දැරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරින් මෝටර් රථයටද බරපතළ හානි සිදුව තිබුණි.
මියගිය දැරියන් දෙදෙනා මාතර සුජාතා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියන් වන අතර ඔවුන්ගේ මව මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ගුරුවරියකි.
දැරියන්ගෙ පියා ව්‍යාපාරිකයෙකු බවද වාර්තා වේ.
මේ අතර මියගිය දැරියන් දෙදෙනාගේ දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකළ අතර එහිදී අනාවරණ වී ඇත්තේ, හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවය.
අද දහවල් දැරියන් දෙදෙනාගේ දේහයන් ඥාතීන් වෙත භාරදෙනු ලැබීය.