සිරියාවේ නව අන්තර්වාර රජයේ අගමැති පත්කරයි
සයුරෙන් එතෙර

සිරියාවේ නව අන්තර්වාර රජයේ අගමැති පත්කරයි

December 11, 2024   03:26 pm

කැරලිකරුවන් යටතට පත්වූ සිරියාවේ නව අන්තර්වාර රජයේ අගමැතිවරයා ලෙස මොහොමඩ් අල් බසීර් පත්කර තිබේ.

ඒ සිරියාවේ පාලනය කැරලිකරුවන් වෙත ලබාදීමට අසාද් රජයේ හිටපු අගමැති මොහම්මඩ් ගාසි එකඟතාව පළ කිරීමත් සමගය.

සිරියාවේ ඇලැප්පෝ සහ ඉඩ්ලිබ්හි කැරලිකරුවන් යටතේ පැවති පෙදෙස්වල පරිපාලන කටයුතු සිදුවී ඇත්තේ මොහොමඩ් අල් බසීර් යටතේ ය.

ඒ අනුව ඔහු 2025 වසරේ මාර්තු පළමු වැනිදා දක්වා කැරලිකරුවන් යටතේ ක්‍රියාත්මක අන්තර්වාර රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

මේ අතර කැරලිකරුවන් අතට පත්වූ සිරියාවේ සිටින සිය පුරවැසි‍යන් ඉවත් කරගැනීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉන්දියාව ඊයේ (10) සිය පුරවැසියන් 75 දෙනෙකු ඉවත් කර ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම ඉන්දීය ජාතිකයින් ආරක්ෂිතව ලෙබනනය වෙත ගොස් ඇති අතර වාණිජ ගුවන් ගමන් මගින් ඉන්දියාවට ආපසු පැමිණෙනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉවත් කරගත් පිරිස අතර අතරමංවී සිටි ජම්මු සහ කාෂ්මීරයේ  වන්දනාකරුවන් 44 දෙනෙකු ද සිටි බව ඉන්දියාව පවසයි.

සිරියාවේ සිටින ඉන්දීය ජාතිකයන්ගේ ඉල්ලීම් සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳ තක්සේරුවකින් පසුව ගෙන්වාගැනීම් තවත් පුළුල් කරනු ඇති බවද පැවසෙයි.