ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් සිලින්ඩරය ගිනි ගනී

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් සිලින්ඩරය ගිනි ගනී

December 11, 2024   12:26 pm

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ බව කියන නිතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම සම්බන්ධයෙන් එම පක්ෂය තුළ අර්බුකාරී වාතාවරණයක් හටගෙන තිබේ.

එහි හවුල්කාර පක්ෂ පවසන්නේ ඒ සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කර නොමැති බවය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතාගෙන් "අද දෙරණ" කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කිරීම සඳහා සියලුදෙනාගේ එකඟතාවය හිමිවුයේ හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාට බවය.

කෙසේවෙතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නිතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කර තිබුණි.

පසුගිය දා අවසන් වු මහ මැතිවරණ ප්‍රතිඵලයට අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිකර ගත්තේය.

මින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා පත් කිරීමට පක්ෂ ලේකම්වරිය පියවර ගත් අතර අනෙක් මන්ත්‍රී ධුරය සඳහා අයෙකු පත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් නිර්මාණය වී තිබුණි.

ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාෆා මහතා මීට පෙරද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර ඔහු අමාත්‍ය ධුර කිහිපයක් ද හොබවා තිබේ.