මෙරට ළමුන් ගැන අමෙරිකානු ආයතනයක් කළ හෙළිදරව්ව සොයා බලන්නැයි අධිකරණයෙන් නියෝග

මෙරට ළමුන් ගැන අමෙරිකානු ආයතනයක් කළ හෙළිදරව්ව සොයා බලන්නැයි අධිකරණයෙන් නියෝග

December 11, 2024   07:12 am

මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය දැක්වූ කරුණු සලකා බලමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මෙම නියෝගය ලබා දුන්නේය.

එම කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ, ඇමරිකාවේ පිහිටි මෙම "නෙක්මැක්" නැමති අන්තර්ජාල ආයතනය ලෝකයේ රටවල් අටක සාමාජිකයන් ලෙස බැඳී ඇති බවය.

එහි සාමාජිකත්වය ලබාගෙන ඇති රටවල්වල දරුවන්ට අදාළ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ මුදාහැරීම සම්බන්ධයෙන් එම ආයතනය නිරන්තරයෙන් සොයා බැලීම් කටයුතු සිදුකරන බව සඳහන්ය.

එම සොයාබැලීම් කටයුතු සිදුකරන අතරතුර ශ්‍රී ලාංකික දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කුමන හෝ පරිගණක උපාංගයක් හරහා මුදාහැර තිබෙන බවට එම ආයතනයේ "නෙක්මැක්" මෘදුකාංගයක් මඟින් සොයාගෙන ඒ බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව එම කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධිය හා සමාන පැමිණිලි රැසක් මේ වනවිට තම අංශය වෙත ලැබී ඇති බැවින් තවදුරටත් එවැනි පැමිණිලි ලැබෙමින් පවතින බව එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

එසේ පැමිණිලි රැසක් ලැබෙමින් පවතින නමුත් මෙම සිද්ධියට අදාළව කිසිදු වින්දිත දරුවෙක් මේ වෙන තෙක් සොයාගෙන නොමැති බව එම කාර්යාංශය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවී ඇත.

දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප ජංගම දුරකථන තුළ බාගත කරගෙන ඇති මෙරට කිසියම් පිරිසක් එම අසභ්‍ය දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද එම කාර්යාංශය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දන්වා සිටියේය.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි නියෝග කර සිටියේය.

මේ අතර ටෙලිග්‍රෑම් යෙදුම ඔස්සේ අසභ්‍ය දර්ශන යොදා ගනිමින් පාසල් යන දරුවන් බියවැද්දීම හා කප්පන් ඉල්ලීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, උපකාරක පංති සිසුන් විශාල පිරිසක් සිටින ටෙලිග්‍රෑම් යෙදුම් මේ සඳහා භාවිත වන බවය.

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන චරුක දමුණුපොල මහතා,

"ටෙලිග්‍රෑම් ඇප් එක මේ දවස්වල භාවිත කරනවා නම් දරුවන් ඉලක්ක කරගනිමින් අසභ්‍ය දර්ශන යොදාගනිමින් බියවැද්දීම, කප්පම් ගැනීම වැනි සිදුවීම් වාර්තා වෙනවා. මෙහිදී ඔබගේ දරුවන්ට එවැනි අසභ්‍ය දර්ශන යොමු කරනු ලබන්නේ විශේෂයෙන්ම අමතර පන්ති සඳහා සකස් කළ ටෙලිග්‍රෑම් සමූහ හරහා. දරුවන්ගේ ඡායාරූපයක් ව්‍යාජ ලෙස AI ටූල් එකකින් සකස් කර, එය දරුවන්ට ලැබීමට සලස්වා දරුවන්ව බියවැද්දීම් තමා වාර්තා වෙන්නේ. දරුවාව දැනුවත් කිරීම වැදගත්. එවැනි ඡායාරූපයක් සමූහයකට යොමු කළොත් හැකි ඉක්මනින් ටෙලිග්‍රෑම් එකවුන්ට් එක බ්ලොක් කිරීම වැදගත්. කිසිම අවස්ථාවක AI ඡායාරූපයට බය වෙලා කිසිම අවස්ථාවක තමන්ගේ ඇත්ත ඡායාරූප වෙනත් එකවුන්ට් එකකට යැවීමට කටයුතු කරන්න එපා."