මැදපෙරදිග යුද ගිනි - ඉරානයට යළිත් අනතුරු ඇඟවීමක්
October 2, 2024 02:08 pm
ඉරානය ඊයේ (01) රාත්‍රීයේ ඊශ්‍රායලය වෙත දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊශ්‍රායලයේ අයන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සහ අමෙරිකානු ප්‍රති මිසයිල මෙහෙයුමක් මඟින් එලෙස එල්ල කෙරුණු මිසයිල රැසක් විනාශ කිරීමට ඊශ්‍රායලය සමත්ව තිබුණි.
ගාසා තීරය සහ ලෙබනනය වෙත අඛණ්ඩ ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර එල්ල කරමින් සිටින ඊශ්‍රායලය වෙත දැවැන්ත බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඉරානය ඊයේ(01) කටයුතු කළේ ය.
එම ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ ජනාකීර්ණ ටෙල් අවීව් අගනුවර, ජෙරුසෙලම සහ හයිෆා යන නගරවල තෝරාගත් හමුදා ඉලක්කයන්ය.
විදෙස් වාර්තාවලට අනුව මෙලෙස එල්ල කෙරුණු මිසයිල සංඛ්‍යාව 180කට ආසන්නය.
ප්‍රහාරවලට සමගාමීව ඊශ්‍රායල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු අතර ඊශ්‍රායලයේ අයන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය මඟින් මෙලෙස පැමිණි මිසයිල රැසක් විනාශ කර තිබුණි.
මේ අතර අමෙරිකාව සඳහන් කළේ, මෙම මිසයිල ප්‍රහාරය මැඬලීම සඳහා තමන් ද සහාය වූ බවය.
කෙසේ නමුත් මෙලෙස එල්ල කළ මිසයිලවලින් කිහිපයක් සාර්ථක වූ අතර, බටහිර ඉවුරට එල්ල වූ එවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියෙක් මියගොස් තිබුණි.
එමෙන්ම ඊශ්‍රායල හමුදා කඳවුරක්, මධ්‍යම ඊශ්‍රායලයේ පාසලක්, ටෙල් අවීව් හි අවන්හලක් ද මෙහි දී ප්‍රහාරයට ලක්වූ බව වාර්තා වේ.
මිසයිල ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ ටෙහෙරාන් ජනතාව වීථි බැස ප්‍රීති ඝෝෂා පැවැත් වූ අතර ගාසා හි වැසියන් ඉරාන ප්‍රහාරය දැක ප්‍රීති ඝෝෂා පවත්වා සිය සතුට ප්‍රකාශයට පත් කළේ ය.
ඉරානයට අනුව ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ හිස්බුල්ලා නායක සායිද් හසන් නස්රල්ලා ඝාතනයට විරෝධය පළකරමින් සහ තම රටේ ස්වයං ආරක්ෂාව වෙනුවෙනි.
ප්‍රහාරය අසාර්ථක බව පවසන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරන්නේ මෙම ප්‍රහාරය එල්ලකරමින් ඉරානය 'විශාල වරදක්' සිදුකරගත් බවය.
ඉරානයට ඒ සම්බන්ධව විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි.
මේ අතර ඉරානය ද අනතුරු අඟවා ඇත්තේ, ඊශ්‍රායල අදාළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත්, මීට වඩා දරුණු ප්‍රතිචාරයකට මුහුණපෑමට ඔවුන් සිදුවනු ඇති බවය.
ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරය අතරතුර විනාශ වූ මිසයිල කොටස් ජෝර්දානයටත් පතිත වී ඇති අතර ඉන් ද පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබුණි.
ඉරාන මිසයිල ප්‍රහාරයට මොහොතකට පෙර ඊශ්‍රායලයේ ටෙල් අවීව් හි ජෆා නගරයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයක් එල්ල වුණි.
එහිදී පුද්ගලයින් 8 දෙනෙක් මියගොස් ඇති අතර, ප්‍රහාරයට පැමිණි දෙදෙනා ද ඝාතනයට ලක්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කෙරෙයි.
ඊශ්‍රායල වාර්තාවලට අනුව ඉන් එක් ප්‍රහාරකයෙක්ට වෙඩි තබා තිබුණේ සිවිල් වැසියෙකි.