ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

September 30, 2024   06:50 pm

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න තුනකට අදාළව නිදහස් ලකුණු පිරිනැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබුවේ දරුවන් ගැන අවධානය යොමුකරමින් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ, විශේෂඥ කමිටුව මඟින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව එම තීරණයට එළැඹුන බවය.

"මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ලේකම්තුමිය විසින් අග්‍රාමාත්‍යවරියට අපි ඉදිරිපත් කළා. අපි දුන්න වාර්තා තවදුරටත් අධ්‍යයනය කරලා, නිර්දේශ ලබාදෙන්න කමිටුවක් පත් කළා. ඒ පත්කරපු කමිටුවේ නිර්දේශ දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරලා තමා මේ තීරණයට ආවේ. මෙතැනදි අපි ඊයේ දවසේ දී ප්‍රකාශයට පත් කළේ, විසඳුමක් හැටියට ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදෙන්න. පිළිතුරු සැපයු, නොසැපයු සියලුදෙනාට සම්පුර්ණ ලකුණු ලබාදෙන්න. ඒ අනුව ඉතා ඉක්මනින් ඇගයීම් සිදුකර ප්‍රතිඵල ලබාදෙන්නත්. 

විශේෂයෙන්ම දරුවන්ට යම්කිසි ගැටලුවක් එන්නේ නම් එය අවම වෙන විදියට ගන්න පුළුවන් වුණේ. යම්කිසි විදියකට මේ තීරණය නිසා විශාල අගතියක් සිද්ධවෙනවා නම් පැහැදිලිවම අපි ප්‍රකාශ කරන්න ඕනේ, අපි නැවත විභාගයකට යන්න මැලි වෙන්නේ නෑ. අපි එවැනි තීරණ අරන් තියෙනවා. නමුත් මේ සිද්ධිය බලපුවාහම මේ තත්ත්වය දිහා බලපුවහම අපිට නැවත විභාගයට යන්නේ නැතුව ඉතාම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඒකට අපේ විශේෂඥ කණ්ඩායම් ඒ මත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව දරුවන්ට ඉතාම සාධාරණයක් ඉටුවෙන අයුරින් තමා අපි මේ තීරණය ගත්තේ. විශේෂයෙන්ම මේක දරුවන් ගැන හිතලා ගත්තු තීරණයක්. අපි කවුරුත් දන්නවා මේ විභාගය මේ දරුවන්ට විශාල පීඩනයක් කියලා. අපි ඒක තවදුරටත් වැඩි කරන්නේ නැතුව මේක සාධාරණ විසඳුමක් කියලා සඳහන් කරනවා.

අපේ යෝජනාව තුළ අපි විකල්ප තුනක් ඉදිරිපත් කළා. ඒ විසඳුම් තුනේ එකක් නැවත විභාගය පැවැත්වීම. අනෙක් විසඳුම ඒ ප්‍රශ්න තුන ඉවත්කරලා ඒ ලකුණු අනිත් ප්‍රශ්න සඳහා ලබාදීම. අනිත් විසඳුම පිළිතුර කුමක් වුවත් නිදහස් ලකුණක් ලබාදීම. අපි මේ විසඳුම් තුන විශේෂඥ කණ්ඩායමට ඉදිරිපත් කළා. ඒ අයගේ මත අනුව අපි අවසන් වශයෙන් ඊයේ ප්‍රකාශ කළේ නිදහස් ලකුණකට යනවා නැවත විභාගය පවත්වන්නේ නැතුව කියලා..."
 
මේ අතර මතභේදයට තුඩු දී ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නපත්‍ර ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් විමර්ශන කටයුතු සිදුකරන බවය.

"ප්‍රශ්න 16ක ආදර්ශ පත්‍රයක් සම්බන්ධයෙන් තමයි අපිට පැමිණිලි ලැබුණේ. එතකොට ඒ ප්‍රශ්නපත්‍රයට අදාළව තමයි අපි විමර්ශන කටයුතු පැවැත්තුවේ. ඊට අදාළව ප්‍රශ්න තුනක් තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ මේ වගේ පිටවෙලා තියෙනවා කියලා. ඒ හැරෙන්නට වෙනත් ප්‍රශ්න පිටවීමක් සම්බන්ධයෙන් හෝ සමාජ මාධ්‍ය ජාලවල හෝ කිසිම විදිහකට මේ ප්‍රශ්න පත්‍රයේ වෙනත් ප්‍රශ්නයක් යොමුවෙලා තිබෙන බව හෝ විභාගයට පෙර වෙනත් ප්‍රශ්නයක් පිටවෙලා තිබෙන බව හෝ කිසිම ආකාරයක පැමිණිල්ලක් හෝ තොරතුරක් අපිට ලැබිලා නැහැ. බහුවරණ ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න තුනක් සම්බන්ධයෙන් තමයි අපිට තොරතුර ලැබිලා තියෙන්නේ මේ ආකාරයට මේ ආදර්ශ ප්‍රශ්නපත්‍රයේ තිබුණා කියන එක. කෙසේවෙතත් තවදුරටත් මේ සම්බන්ධයෙන් මොනවා හෝ දෙයක් අනාවරණය වෙන්න තියෙනවාද කියන කාරණය අනාවරණය කර ගැනීම සඳහා නොකඩවා විමර්ශන කටයුතු පවත්වනවා. ඒ සඳහා නීතිපතිවරයාගෙන් මේ වනවිට උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගනිමින් තමයි විමර්ශන කටයුතු සිදුකරන්නේ."