ලංකාවට ආ විදෙස් තරුණියට නොසිතූ කරදරයක් - CCTV සහිතයි
May 29, 2024 12:54 pm
ඇල්ල ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළෙන් බස් රථයකට නැගුණු එංගලන්ත ජාතික තරුණියකගේ ගමන් බෑගය බස් රථය තුළදී සොරාගෙන තිබේ.
යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන එම තරුණිය ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා දිවයිනට පැමිණ තිබිණි.
ස්කයි මැගෝවන් සංචාර පිළිබඳ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන ඔස්ට්‍රේලියාවේ වාසය කරන එංගලන්ත ජාතික තරුණියකි.
රටවල් 37ක පමණ සංචාරය කර ඇති ඇය පසුගිය මැයි 24වැනිදා මෙරටට පැමිණ තිබුණේ දෙවන වරටය.
දුම්රියෙන් ඇල්ල බලා යාම සඳහා ඇය කොටුව දුම්රිය ස්ථානය වෙත ගියද පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය අවලංගු වීම නිසා ඇය බසයෙන් ඇල්ල බලා යාමේ අරමුණින් බැස්ටියන් මාවත බස් නැවතුම්පළෙන් බසයකට ගොඩ වී තිබේ.
කෙසේ වුවද බසයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඇයගේ බෑගය සොරාගෙන ඇති අතර එය බසයේ CCTV කැමරාවේ සටහන්ව තිබුණි.
සිය බෑගය සොරාගෙන ඇති බව දැනගත් වහාම ඇය එම බස් නැවතුම්පළේ පොලිසියට මේ බව දැනුම් දී තිබූ අතර ඔවුන් කොටුව පොලිස් ස්ථානයටද ඒ පිළිබඳ පැමිණිල්ලක් ගොනුකර තිබුණි.
බෑගය තුළ ඇගේ ගුවන්ගමන් බලපත්‍රය, කැමරාව, ලැප්ටොප් පරිගණකය මෙන්ම ඩොලර් 2,000ක මුදලක් තිබූ බව ස්කයි මැගෝවන් පවසන්නීය.
ඇගේ බෑගය සොයා දෙන හෝ ඒ පිළිබඳ තොරතුරුක් ලබාදෙන අයෙකුට ඩොලර් 5,000ක මුදලක් ලබාදීමට සූදානම් බවත් ඇය ප්‍රකාශ කළාය.
"ශ්‍රී ලංකාවේ මිනිස්සු කොච්චර හොඳද කියලා පෙන්වමින් මට උදව් කරන්න. ඒ අයගේ නම් පදිංචි ලිපිනය වගේම මේ අය හඳුනාගන්න පුළුවන් වුණොත් ගොඩක් හොඳ දෙයක්. මේ ගැන තොරතුරක් දෙන ඕනෑම කෙනෙකුට ඩොලර් 5,000ක් ලබාදෙනවා."
