ශ්‍රී ලංකාවට සුවිශේෂී ජයග්‍රහණයක්
February 13, 2024 01:29 pm
ශ්‍රී ලංකාව 2024 වසරේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සම්මානයට පාත්රවී තිබේ.
ඒ, කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැගීමට සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමට ජාතික මට්ටමින් දරන ලද සුවිශේෂී උත්සාහයන් අගයමිනි.
ඒ අනුව මෙරට කඩොලාන ප්‍රතිෂ්ඨාපන මෙහෙවර එකසත් ජාතීන්ගේ "වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ශිප්" (World Restoration Flagship) වැඩසටහන යටතේ ගෝලීය වශයෙන් අවධානයට ලක්වන සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරයි.
එක්සත් ජාතීන්ගේ ‘වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ශිප්’ සම්මානය යනු බොහෝ ජීවිත සහ ජීවනෝපායන් සඳහා උපකාර වන මෙම අත්‍යවශ්‍ය පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ත්‍රියාත්මක කරන ලද ශක්‍ය හා කල්පවත්නා විසඳුම් කාලෝචිත ලෙස පිළිගැනීමකි.
2024 පෙබරවාරි 27 වන දින කෙන්යාවේ නයිරෝබි නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී මෙම සම්මානය ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතය.
ශ්‍රී ලංකාවට එම සම්මානය හිමිවීම සුවිශේෂී සංරක්ෂණ කඩයිමක් ලෙස හැදින්විය හැකිය.
මෙම සම්මානය මගින් පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය සඳහා එක්සත් ජාතීන්ගේ මූලධර්ම ඵලදායී ලෙස භාවිත කරන අතරම, ලොව පුරා අනාගත සාර්ථකත්වය සඳහා සැලකිය යුතු හොඳම භාවිතයන් සහ ක්‍රමවේදයන් ඉස්මතු කෙරෙයි.
2004 සුනාමි ඛේදවාචකයත් සමග ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට එල්ල කෙරුණු විනාශකාරී බලපෑම්, වෙරළාරක්ෂකයෙකු ලෙස ක්‍රියා කරමින් කඩොලාන පරිසර පද්ධතීන්වල වැදගත්කම වඩාත් ඉස්මතු වීමට හේතුවක් විය.
අවාසනාවකට මෙන්, කඩොලාන පද්ධතීන් අඛණ්ඩව විනාශ කිරීම සහ විධිමත් යාන්ත්‍රණයක් නොමැතිවීම මෙම අගනා පරිසර පද්ධතීන් සංරක්ෂණය සහ ප්‍රතිස්ථාපනය ඵලදායී ආකාරයෙන් සිදුකිරීමට බාධාවක්ව පැවතුණි.
වෙරළබඩ පරිසර පද්ධතීන් බලගැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම 2015 වසර සහ ඉන් ඔබ්බට ද දිවෙන අතර, සෑම ක්ෂේත්රයක්ම නියෝජනය වන සහ අන්තර් සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක වන විශේෂඥ කමිටු, කාර්ය සාධන බලකායන්, ප්‍රතිපත්ති, ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රතිස්ථාපන මාර්ගෝපදේශ ස්ථාපිත කිරීම මගින් මෙම සංරක්ෂණ ක්‍රියාවලියේ සාර්ථකත්වය අත්කර ගැනීමට හැකියාව ලැබී ඇත.
පරිසර පද්ධති සේවා පුනර්ජීවනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් යාවත්කාලීන විද්‍යාත්මක දැනුම පදනම් කරගත් ක්‍රමවේදයන් භාවිත කරමින් කඩොලාන ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙහිදී විප්ලවීය ජාතික ප්‍රවේශයක් ලෙස පෙන්වා දිය හැකිය.
මෙම ප්‍රවේශය සැලසුම් කර ඇත්තේ සමස්ත පරිසර පද්ධතියේ සමතුලිතතාවය සහ අන්තර් සම්බන්ධතා යථාතත්ත්වයට පත් කිරීම සඳහා ය.
පර්යේෂකයන් සහ අනාගත ප්‍රතිස්ථාපන නායකයින් ලෙස තරුණයින් සම්බන්ධවීම සහ රජය, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය, විද්වතුන් සහ ප්‍රජාව පුරා විහිදුණු බහු පාර්ශ්වීය කණ්ඩායම් බලමුළු ගැන්වීම අනාගතය සඳහා ගොඩනඟන ලද ප්‍රතිෂ්ඨාපනයේ නව පූර්වාදර්ශයක් සංරක්ෂණ අනාගතයට තිළිණ කර ඇත.