මාතර පාස්පෝට් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

මාතර පාස්පෝට් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

February 13, 2024   01:17 pm

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයට ඉදිරිපිට අද (13) පෙරවරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

ඒ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙනි.

අප වාර්තාකරු පැවසුවේ දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි ජනතාව එහි සිටි බවයි. 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයට විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා දෛනිකව විශාල පිරිසක් පැමිණෙති.

මෙම කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ 150 දෙනෙකුට පමණ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කෙරෙයි.

කෙසේවෙතත් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් එහි පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිති.

එම කාර්යාලය අසල දින කිහිපයක සිට තවමත් දිගු පෝළිම් දක්නට ලැබෙයි.

දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි ජනතාවට සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා මෙම කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැය පහන් කිරීමට ද සිදුව තිබේ.

අද උදෑසනවන විටත් දින කිහිපයක සිට එහි රැඳී සිටි ජනතාවට විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරින් හා ජනතාව අතර නොසන්සුන්තාවක් ද ඇතිවිය.

ජනතාව චෝදනා කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව තමන්ට නියමිත අංකයක් ලබා දුන්නද එම අංක අනුපිළිවෙලට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් නොකරන බවයි.

එසේම දින ගණනක් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රස්තියාදුවන මෙම ජනතාව නොසලකා හරිමින් විවිධ අනීතික ක්‍රම ඔස්සේ වෙනත් පිරිස්වලට විදෙස් ගමන් බලපත්‍ර ලබා දෙන බවටද ජනතාව චෝදනා කරති.