යතුරුපැදියක් පරීක්ෂා කරන්න ගිහින් ගුටි කෙළියක්

යතුරුපැදියක් පරීක්ෂා කරන්න ගිහින් ගුටි කෙළියක්

February 13, 2024   10:16 am

යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසු සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ.

රෝහල්ගත කළ පිරිස අතරට පානදුර කොට්ඨාස රථවාහන අංශ නිලධාරීන් දෙදෙනා සහ යතුරුපැදියෙන් පැමිණි පානදුර අවට පදිංචිකරුවන් දෙදෙනා ඇතුළත් වන බව පානදුර දකුණ පොලීසිය පවසයි.

පහරකෑ පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ (12) රාත්‍රි 12.10ට පමණ පානදුර වලාන පාළම ආසන්නයේ රථවාහන අංශ රාජකාරි යෙදී සිට ඇත.

මොරටුව දෙසින් පානදුර දෙසට යතුරුපැදියකින් තිදෙනෙකු පැමිණ ඇති අතර, එය නවතා පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ පැමිණි දෙදෙනා කලහකාරී අන්දමින් හැසිරී ඇති බව සඳහන් වේ.

පසුව යතුරුපැදියෙන් පැමිණි අයෙක් පොලිස් නිලධාරීයෙකුට පහරදී ඇති බවත්, ඉන්පසු දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් සඳහන් වේ.

පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් යතුරුපැදියෙන් පැමිණි දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර, එක් අයෙකු පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

පහරකෑමට ලක්වූ සිව්දෙනාම පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරුවන් පැමිණි යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශනවලින් අනතුරුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.