රත්නපුරේ මාරක අනතුරින් තුවාල ලැබූ අයෙක් මියයයි

රත්නපුරේ මාරක අනතුරින් තුවාල ලැබූ අයෙක් මියයයි

February 12, 2024   02:03 pm

රත්නපුර නව නගරයේ ඊයේ (11) පස්වරුවේ සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතරින් එක් අයෙකු මියගොස් තිබේ.

රත්නපුර නව නගරයේදී මෝටර් රථයක් සහ යතුරුපැදි තුනක් එකිනෙක ගැටීමෙම අනතුර සිදුව තිබුණේ ඊයේ පස්වරුවේදීය.        
   
කුරුවිට සිට රත්නපුරය දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදි තුනක ගැටී මෙම අනතුර සිදුව තිබුණු අතර අනතුර හේතුවෙන් යතුරුපැදිවල ගමන්ගත් පුද්ගලයින් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබිණි.

ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් කඩිනමින් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එක් අයෙකු අද (12) අලුයම මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචි කවිඳු ගවේශාන් නමැති 20 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

අනතුරින් ඔහුගේ පාදයකටද බරපතළ ලෙස හානිවී තිබිණි.

රෝහල්ගතකළ සෙසු සිව්දෙනාගේ තත්ත්වයද මේ වනවිටත් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.

අනතුර සිදුකළ මෝටර් රථය පැදවූ රියදුරු එම ස්ථානයෙන් පළාගොස් පසුව රත්නපුර පොලීසියට භාරවී තිබිණි.

ඔහු ඕපනායක හුණුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.