සැප වාහන හොරෙන් ලියාපදිංචි කළ හැටි එළියට

සැප වාහන හොරෙන් ලියාපදිංචි කළ හැටි එළියට

February 11, 2024   04:37 pm

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 05 දෙනෙකු ඇතුළුව 07 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබේ.

ඒ ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාසනය නොකළ මෝටර් රථ විශාල ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම හරහා රජයට විශාල පාදුවීමක් සිදුවීම සම්බන්ධයෙනි.

නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ මෙලෙස නිෂ්කාසනය නොකළ මෝටර් රථ 400කට ආසන්න ප්‍රමාණයක් එම දෙපාර්තමේන්තුව ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

ඉන් වාහන 156ක් පිළිබඳව නිශ්චිත තොරතුරු කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

ඉන් බොහෝමයක් වාහන සුඛෝපභෝගී වාහන කාණ්ඩයට අයත් වන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

එසේම මෙම වාහන වසර ගණනාවක් ප්‍රමාද වී ව්‍යාජ ආකාරයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් එම කාලසීමාවට අදාළවද විශාල බදු මුදලක් රජයට අහිමිව ගොස් තිබේ.

ඉහත වාහන අතරින් වාහන 07ක් වර්තමාන අයිතිකරුවන්ගෙන් ලබාගෙන ශ්‍රී ලංකා රේගුව වෙත භාරදෙන ලෙස අධිකරණය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නියෝග කර ඇත.

ඒ අනුව ඉන් වාහන 06ක් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිය භාරයට ගෙන ඇති අතර ඉන් වාහන 05ක් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට කටයුතු කර තිබේ.