ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටී දරුවෙක් මරුට

ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටී දරුවෙක් මරුට

February 5, 2024   01:07 pm

ගම්පොළ ජාත්‍යන්තර පාසලක් ආසන්නයේ පිහිටි ගසක් කඩාවැටීමෙන් එහි පෙර පාසලේ ඉගෙනුම ලැබූ පස් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

ගම්පොළ නගරය ආසන්නයේ පිහිටි මෙම ජාත්‍යන්තර පාසල තුළ පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා අධ්‍යයන කටයුතු සිදුකෙරේ.

එහි පෙර පාසල් කොටසේ පන්ති 4ක් පවත්වන අතර, අද (05) දිවා විවේක කාලයේදී ඉන් එක් පන්තියක සිසු සිසුවියන් 31 දෙනෙකු සුපුරුදු ලෙස සෙල්ලම් මිදුලේ සෙල්ලම් කරමින් සිට තිබිණි.

එම සෙල්ලම් මිදුල මෙලෙස දැල්වලින් වටකර ඇති අතර, එම අවස්ථාවේ පැවති සුළං තත්ත්වයක් සමග පාසලේ තාප්පයට පිටතින් තිබූ කුඩුදවුල ගසක් ළමුන් මතට කඩා වැටුණේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයටය.

කඩා වැටුණු ගසට යටවීමෙන් සිසුන් දෙදෙනෙක් සහ සිසුවියක් තුවාල ලැබූ අතර ඔවුන් ගම්පොළ රෝහලට ඇතුළත් කෙරුණි.

රෝහල්ගත කිරීමේදී එක් සිසුවෙක් මෙලොව හැර ගියේය.

එලෙස මියගියේ ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් සෙයිම් අස්වී නැමැති පස් හැවිරිදි දරුවෙකි.

ඔහු දරුවන් දෙදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවාය.

මේ අතර රෝහල්ගත කෙරුණු අනෙක් සිසුන් දෙදෙනාගෙන් අයෙක් බරපතළ තත්ත්වයේ පසුවීම හේතුවෙන් මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යැවුණි.

මේ අතර පාසලේ මායිම් තාප්පයෙන් පිටත පිහිටා තිබූ මෙම කුඩුදවුල ගස කලක් තිස්සේ අනාරක්ෂිත තත්ත්වයේ පැවති බවට මව්පියන් චෝදනා කරයි.