ක්‍රිකට් නඩු විභාගය මැද අධිකරණයේදී හෙළිවූ කතාව
November 20, 2023 10:39 pm
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ප්‍රධාන හේතුව වුයේ තම ක්‍රියාකලාපය නොව ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (20) සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුනි.
ඒ අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත්කළ පෙත්සම අද යළි අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුණි.
ඒ අදාළ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරුවන් තිදෙනෙකු ඉවත් වූ පසු අභියාචනාධිකරණ සභාපතිවරයා පත්කළ සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.
පෙත්සම සලකා බැලීමට සවන්දීම සඳහා ක්‍රිකට් අතුරු පාලන කමිටුවේ සභාපති ධුරයට පත්කළ අර්ජුන රණතුංග මහතාද අධිකරණයට පැමිණ තිබුණි.
එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙත්සම්කරු අධිකරණයට කරුණු වසන්කරමින් අතුරු තහනම් නියෝග ලබාගෙන ඇති බැවින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි මූලික විරෝධතා මතු කළේය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් නීතීඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත පෙනී සිටී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මෙහිදි පළමුව අධිකරණයට කරුණු දැක්වේය.
"ස්වාමිනි, මෙම නඩුකරය පවත්වාගෙන යාමට පෙත්සම්කරුට නීතිමය හැකියාවක් නැහැ. ක්‍රිකට් ආයතනයට මෙවැනි නඩුකරයක් ගොනු කළ හැක්කේ ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයින්ගේ යෝජනා සම්මතයකින් පමණක් වුවද මෙහිදි එවැනි යෝජනා සම්මතයක් ලැබී නැහැ. "
මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු පාලන කමිටුව පත්කිරීම ක්‍රීඩා පනතට අනුකූල වන අතර ඔහු තමාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව එය සිදුකර ඇති බව පෙන්වා දුනි.
අනතුරුව ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට මෙලෙස ප්‍රකාශ කළේය.
"ස්වාමිනි, මෙම පෙත්සම්කරු ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බලපෑම් කළ බවට වූ ලිපි තුනක් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. එහෙත් එම ලිපි පෙත්සම්කරු මෙම පෙත්සමට ගොනුකර නැහැ. ඒ තුළින් ඔහු අධිකරණයට කරුණු වසන් කර තිබෙනවා."
පසුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවෙන් කරුණු දැක්වුවේය.
"ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයා මැදිහත් වූ බවට වගඋත්තරකරුවන් කරන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ප්‍රධාන හේතුව වුයේ ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයයි. නව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට අමාත්‍යවරයා පත්කර ඇත්තේ තමන්ගේ සුරතලුන්ව. එමෙන්ම තමාට නොතීසි නොලැබුණු බව ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණය හමුවේ සඳහන් කළත් මෙම නඩුව සලකා බැලූ අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණ පරිශ්‍රයේ සිටි බව මාධ්‍ය විසින් පලකළ වීඩියෝ දර්ශන තුළින් පෙනීයනවා. " යැයි නීතීඥවරයා සඳහන් කළේය.
මෙහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කරනු ලැබු ගැසට් නිවේදනය ප්‍රකාරව එළඹෙන 22 වනදා තෙක් පමණක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට පොරොන්දු වන බවය.
අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 22 වැනි දා තෙක් කල් තැබුණි.