ප්‍රාණඇපකරුවන් ගැන සාක්ෂියක්

ප්‍රාණඇපකරුවන් ගැන සාක්ෂියක්

November 20, 2023   01:58 pm

ගාසාහි අල් ෂිෆා රෝහල තුළ තිබී හමාස් භූගත කඳවුරක් හමුවූ බව ඊශ්‍රායල හමුදා නිවේදනය කර තිබේ.

පසුගිය සතියේ දී ගාසාහි විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල වැටලීමට ඊශ්‍රායල හමුදා පියවර ගත්තේ එහි හමාස් මූලස්ථාන හා භූගත කඳවුරු ඇති බවට චෝදනා කරමිනි.

වැටලීමෙන් සතියකට පමණ පසු එහි තිබී මීටර් 55ක් දිගින් යුතු උමං මාර්ගයක් හමුවූ බව ඊශ්‍රායලය පවසයි.

එහෙත් හමාස් සංවිධානය පවසන්නේ, එය සම්පූර්ණ අසත්‍යයක් බවය.

තවද රෝහලේ CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේදී ඒ තුළ ප්‍රාණඇපකරුවන් රඳවා සිටි බවට සාක්ෂි හමුවූ බවත් ඊශ්‍රායලය පෙන්වා දෙයි.

මේ අතර අල් ෂිෆා රෝහලෙන් ඉවත් කරගත් නොමේරූ බිළිඳුන් 31දෙනා ඊජිප්තුවේ රෆාහි තාල් අල් සුල්තාන් රෝහලට ඇතුළු කර තිබේ.

බිළිඳුන් මේ වනවිට දරුණු ආසාත්මිකතාවන්ට ලක්ව සිටින අතර ඔවුන්ගෙන් 11දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

මේ අතර රෝහලේ බරපතළ තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටි සෙසු රෝගීන් 250දෙනා සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණ වී නැත.

මේ අතර, ඊශ්‍රායල - හමාස් යුද ගැටුමෙන් මියගිය පලස්තීන වැසියන් ගණන 13,000 ඉක්මවා ගොස් තිබේ.

ඉන් බහුතරය සිවිල් වැසියන් බව වාර්තා වේ.

මෙවන් පසුබිමක උතුරු ගාසාහි ඇති තවත් විශාල රෝහලක් වන ඉන්දුනීසියානු රෝහලට ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී තිබේ.

එහිදී 8දෙනෙකු මියගොස් වෛද්‍යවරු දෙදෙනෙක් තුවාල ලැබූ බවද සඳහන් වේ.

මේ අතර දකුණු ගාසාහි ඛාන් යුනිස් නගරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් එහි සරණාගත කඳවුරු ජලයෙන් යටවී ගොස් තිබේ.

ඒ හේතුවෙන් කඳවුර තුළ පාචනය වැනි රෝග ව්‍යාප්තිය වේගවත් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි.

මේ අතර ඊශ්‍රායලයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්, රතු මුහුදේදී පැහැරගත් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසයි.

ඊශ්‍රායලය පවසන්නේ, එහි තම පුරවැසියන් නොමැති බවය.

බ්‍රිතාන්‍යය හිමිකාරිත්වයෙන් යුතු එම නෞකාව තුළ සිටින තම වැසියන් නිදහස් කරන්නැයි ජපානය අවධාරණය කරන්නේ මෙවන් පසුබිමකය.