කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසුවූ පුද්ගලයාව බේරාගනී

කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසුවූ පුද්ගලයාව බේරාගනී

November 20, 2023   09:49 am

කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසුවී ගසාගෙන ගිය පුද්ගලයාව බගවන්තලාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා බේරාගැනීමට සමත්ව තිබේ.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය ඊයේ (19) පස්වරුවේ පිටාර ගැලීමෙන් ඔයේ සැඩ පහරට එම පුද්ගලයා ගසාගෙන ගොස් තිබුණි.

කෙසෙල්ගමුඔය හරහා ඉදිකර ඇති පාලමකින් බගවන්තලාව කිලානි වතුයායේ පිහිටි ඔහුගේ නිවසට යාමට උත්සහ කිරීමේදී ඔහු මෙම අනතුරට ලක්ව ඇත.

පසුව එම පුද්ගලයා ගසක අත්තක එල්ලී සිටිය දී ඉන් මුදා ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබේ.

කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව වතුයායේ පවත්වාගෙන යන එළවළු වගා භූමියක් හා වතු නිවාස කිහිපයක් සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වී තිබුණි.

කෙසෙල්ගමුඔය වැලි සහ රොන්මඩවලින් පිරි ඇති බැවින් ඔය පටු වී ඇති බවත්, කෙසෙල්ගමුඔය සුළු වර්ෂාපතනයකදී පවා පිටාර ගලන බවත්, එම ඔය පුළුල් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙසත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටී.