ආබාධ නොතකා පහේ කඩුල්ල දිනූ දරුවන්
November 19, 2023 01:01 pm
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කිහිප දෙනෙකු සිය ජීවිතයේ ඇති බාධකවලට මුහුණ දෙමින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූ තොරතුරු, ප්‍රදේශ කිහිපයකින් අද දෙරණට වාර්තා විය.
විවිධ දුෂ්කර ප්‍රදේශවලින් පැමිණෙන දරුවන් 178 දෙනෙකු කෑගල්ල උස්සාපිටිය සුමංගල විද්‍යාලයෙන් මෙවර ශිෂයත්ව විභාගයට පෙනී සිට ඇති අතර, ඉන් 55 දෙනෙකු විභාගය සමත් ව තිබේ.
එලෙස ශිෂ්‍යත්ව විභාගය සමත් වූවන් අතර සුවිශේෂී දරුවෙක් වන එන්.ජී.මනිතු යෙනෙල් නැමැති සිසුවා බේල් ක්‍රමය යටතේ පෙනී සිට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත්තේ, ලකුණු 113ක් ලබාගනිමිනි.
අරණායක මුරුතුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි යෙනුල්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ස්ථිර රැකියාවක් නොමැති ඔහුගේ පියා සහ මව දැඩි වෙහෙසක් දරති.
මෙවැනිම තවත් පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වේ.
උපතින්ම දෑත් සහ දෙපා අහිමි සිතිල තෙව්ජාන් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 160ක් ලබා විභාගය සමත් ව තිබේ.
සිය සැමියා ද නොමැතිව සිතිලගේ මව සිතිල ව පෝෂණය කරමින් ඔහුට අධ්‍යාපනය ලබාදීමට දරන්නේ දැඩි වෙහෙසකි.
මේ අතර, ශිෂ්‍යත්ව විභාගය හා සම්බන්ධ තවත් විශේෂ පුවතක් ගාල්ල ඉමදූව ප්‍රදේශයෙන් වාර්තා විය.
නගරයෙන් බොහෝ ඈත ඉතාමත් දුෂ්කර ගම්මානයක පිහිටා ඇති ගාල්ල ඉමදූව පුස්වැල්කඩ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නේ දරුවන් 19ක් පමණි.
එයිනුත් පහ ශ්‍රේණියේ අධ්‍යාපන ලැබීමට සිටි සිසුන් ගණන 06ක් වන අතර, ඉංග්‍රීසි ගුරුවරිය ද ඇතුළුව ගුරුවරුන් සිව් දෙනෙක් මොවුන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු කරයි.
පවතින තත්ත්වය මත කොයි මොහොතේ හෝ පාසල වසා දමනු ඇතැයි යන අවිනිශ්චිතතාවෙන් සිටින මේ ගුරුවරුන් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කර ඇත.
ගුරුවරුන්ගේ කැපවීම මල්ඵල ගන්වමින් වසර 60කට වැඩි ඉතිහාසයක් සහිත පුස්වැල්කඩ ප්‍රාථමික විද්‍යාලයේ පළමු වතාවට මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවෙක් ඉන් සමත්ව තිබේ.
එලෙස ලකුණු 170ක් ලබා ගනිමින් විභාගය සමත්ව පාසල් ඉතිහාසයට එක්වුණේ, ඩී.එච්. සෙනෝලි තිරන්යා නම් දියණියයි.