දුම්රියේ ගැටී ජීවිත දෙකක් අහිමි වෙයි

දුම්රියේ ගැටී ජීවිත දෙකක් අහිමි වෙයි

September 21, 2023   09:23 am

දිවයිනේ ප්‍රදේශ දෙකක දී පුද්ගලයින් දෙදෙනෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ පෑලියගොඩ සහ හික්කඩුව යන ප්‍රදේශවලදීය.

ඊයේ(20) සවස් කාලයේ පෑලියගොඩ පොලිස් වසමේ කැලණිය දුම්රියපොළ අසල දී දුම්රිය මාර්ගයේ ගමන්ගත් නාඳුනන පුද්ගලයෙකු දුම්රියේ ගැටී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර උස අඩි 05යි අඟල් 05ක් වන කොළ පැහැති කමිසයකින් හා ක්‍රීම් පැහැති කොට කලිසමකින් සැරසුණු සාමාන්‍ය සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙකි.

මෘත ශරීරය කොළඹ රෝහලේ තැන්පත් කර ඇති අතර පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර හික්කඩුව, කුරුදුවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී මරදානේ සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තවත් නාඳුනන පුද්ගලයෙක් මියගොස් ඇති බව හික්කඩුව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ අවුරුදු 55ත් 60ත් අතරේ පසුවන උස අඩි 05ක කෙට්ටු සිහින් සිරුරකින් යුත් හිසෙහි මුදුන තට්ටය පෑදුන රතු, කළු පැහැති කොටු සහිත අත් කොට කමිසයකින් සහ සරමකින් සැරසුණ පිරිමි පුද්ගලයෙකි.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.