මගීන්ගේ චෝදනාවලට ශ්‍රීලන්කන් පිළිතුරු දෙයි
May 5, 2023 09:25 pm
කටුනායක ප්‍රදේශයට බලපෑ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගුවන් යානා කිහිපයක් ඊයේ (04) රාත්‍රියේ සහ අද (05) අලුයම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්ට සිදුවුණි.
ඉන් එක් ගුවන් යානයක මගීන්ගෙන් චෝදනා එල්ල වුණේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමෙන් පසු තමන් දැඩි අපහසුතාවලට මුහුණ දුන් බවටය.
ශ්‍රීලන්කන් ගුවන් සේවය UL 605 දරන ගුවන් ගමන් වාරය ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් සිට කටුනායක දක්වා ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වුණි.
A330-300 වර්ගයේ ගුවන් යානයේ මගින් 297 දෙනෙක් සහ කාර්යමණ්ඩලයේ 15ක් ගමනට එක්වී තිබුණි.
යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබුණේ ඊයේ රාත්‍රී 10.30ටය.
නමුත් කටුනායක ප්‍රදේශයට ඇදහැලෙමින් තිබූ ධාරාණිපාත වර්ෂාව නිසා යානය එහි ගොඩබෑමට අවස්ථාවක් නොලැබුණි.
අවස්ථා කිහිපයකදීම යානය ගොඩබෑමට උත්සාහ කළ ද කාලගුණ තත්ත්වය අයහපත් බැවින් එය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට යොමු කිරීමට ගුවන් ගමන් පාලකවරුන්ට සිදුවුණි.
ඒ අනුව ගුවන් යානය රාත්‍රී 11.30 ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබීය.
ඒ වනවිට මෙල්බර්න් සිට පැමිණි ගුවන් කාර්යමණ්ඩලයේ පියාසැරි රාජකාරි කාලසීමාව සම්පූර්ණ වී තිබීම නිසා ජාත්‍යන්තර නීතියට අනුව ඔවුන්ට යළි ගුවන් යානය මෙහෙයවීමට අවසරයක් හිමි නොවීම නිසාත් ගුවන් යානය යළි කටුනායක වෙත ගෙන ඒමට අවස්ථාව ලැබී නොමැත.
කෙසේ වෙතත් යානය එහි ගොඩබෑමෙන් පසු මත්තල ගුවන්තොටුපොළේ මගීන් හැසිරවීමේ කටයුතු ඉතා දුර්වල මට්ටමක පැවති බව වාර්තා විය.
තමන්ට ගුවන්තොටුපොලේ සිට යාමට ලබාදුන්නේ මෙරට මගී ප්‍රවාහනයට යොදාගන්නා සාමාන්‍ය බස් රථ බවත් සිය භාණ්ඩ සමග එහි ගමන්කිරීමේදී දැඩි අපහසුතාවලට පත්වූ බවත් මගීන් චෝදනා කර තිබුණි.
දේශීය පමණක් නොව විදෙස් මගීන් ද මෙම ගුවන් ගමනට එක්වී සිටි බවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස හැඳින්වෙන මත්තල ගුවන්තොටුපොළෙහි අවශ්‍ය මූලික පහසුකම් හෝ නොතිබීම ලොව හමුවේ රටේ නාමයට ද හානි ගෙනදෙන්නක් බව ඔවුන් පවසයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.
එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවට පැමිණි මගීන්ට මත්තල සිට කොළඹ දක්වා ප්‍රවාහන පහසුකම් සලසා දීමට තම සමාගම කටයුතු කළ බවය.
වෙනත් රටවලට යාමට පැමිණි මගීන්ට ගුවන් යානය නැවත කටුනායක බලා පිටත්ව යන තෙක් මත්තල අවට හෝටල්වල නවාතැන් පහසුකම් සලසාදුන් බවත් ශ්‍රී ලන්කන් සමාගම පැවසීය.
මගීන්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව උදෙසා ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීම හේතුවෙන් මගීන්ට ඇතිවූ අපහසුතාව පිළිබඳ සිය සමාගම කනගාටුව පළකරන බවත් වෙනත් රටවල් බලා පිටත්වීමට නියමිත ගුවන් මගීන්ට එම පහසුකම් සැලසීම සඳහා සෑම පියවරක්ම ගත් බවද ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කර තිබේ.