චීනෙන් නොමිලේ ලැබුණු ඩීසල් ත්‍රිකුණාමලයට නෑ ?

චීනෙන් නොමිලේ ලැබුණු ඩීසල් ත්‍රිකුණාමලයට නෑ ?

January 24, 2023   08:44 am

‍චීනයෙන් නොමිලයේ ලැබුණු ඩීසල් ආණ්ඩුව විසින් වෙනත් කාර්යයන් සඳහා භාවිත කළේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවන බව ගොවි ජාතික සමුළුව පවසයි.

එහි කැඳවුම්කරු නිමල් වත්තුහේවා මහතා සඳහන් කළේ, මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොයම් කැපීමේ කටයුතු ආරම්භ කර ඇති බැවින් ඩීසල් අවශ්‍ය වෙලාවට ගොවි ජනතාව වෙත ලැබීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවය.

"කෘෂිකර්ම ඇමතිවරයා විසින් ලංකාවට ඇතිවෙන්න ඊළඟ මහ කන්නයේ වී නිෂ්පාදනය සඳහා ගොවීන්ට නොමිලේ ඩීසල් දෙන්න පුළුවන්, තෙල් නැව ආවා කියලා දිගටම මාධ්‍යවලින් ප්‍රචාරය කළා. හැබැයි මේ මොහොත වෙන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොයම් කපන්න පටන් අරන් තියෙන්නේ. අඩුම ගානේ නොමිලේ දෙන තෙල් තියා ෂෙඩ් එකක තෙල් නැති ගාණට දැන් පත්වෙලා. මේ මොහොත වෙන විට එක ලීටරයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවීන්ට වී වගාවේ අස්වැන්න නෙළා ගැනීම සඳහා ලබාදෙන්න ආණ්ඩුව අසමත්වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ දැන් ගොයම් කපන්න පටන් අරන් තියෙන්නේ. දැන් නැති ඩීසල්වලින් වැඩක් නෑ. ඒක නිසා ඩීසල් ටික වෙලාවට ගොවීන්ගේ අතට පත්කරන වැඩපිළිවෙලක් හදන්න. අපිට සැකයක් තියෙනවා චීනයෙන් නොමිලේ හම්බුන මේ ඩීසල් නැව වෙන දේවල්වලට ආණ්ඩුව පාවිච්චි කළාද කියලා."

රජය වී මිලදී ගැනීමේ කටයුතු සිතා මතා මඟ හරිමින් සිටින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවිබල මණ්ඩලයේ සභාපති තක්ෂිල දේශප්‍රිය මහතා සඳහන් කළේය.