රටම බලා සිටි ගජමෑන් හෙට සිට රිදී තිරයේ

රටම බලා සිටි ගජමෑන් හෙට සිට රිදී තිරයේ

January 19, 2023   03:31 pm

මෙරට ජනප්‍රිය පුවත් පත් කාටූන් චරිතයක් වූ ගජමෑන් ඇසුරෙන් නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය හෙට (20) සිට ප්‍රේක්ෂකයාට දැකගැනීමට අවස්ථාව උදාවෙයි.

චානක පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙම සුවිශේෂී නිර්මාණයේ ප්‍රධානතම හඬකැවීම් ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද ප්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය.

ගජමෑන් චිත්‍රපටයේ තිර රචනය සිදුවන්නේද ඔවුන් දේපළ අතිනි.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.

මෙරට අතිශය ජනප්‍රිය හඬ නළු නිළියන්ගේ හඬින් සැරසුණු 3D සිනමා නිර්මාණයන්ට ලොව භාවිතයට ගනු ලබන ඉහළම තාක්ෂණය වන Motion Capture නැත්නම් ”චලන ග්‍රහණය” යොදා ගජමෑන් චිත්‍රපටය නිර්මාණය කිරීමට වසර 10කට ආසන්න කාලයක්ගතවිය.

James Cameron විසින් නිෂ්පාදනය කරන ලද ලෝ පතළ Avatar සහ Steven Spielberg නිර්මාණය කළ The Adventures of Tintin චිත්‍රපට Motion Capture තාක්ෂණය භාවිත කර නිර්මාණය කර තිබේ.

ගජමෑන් චිත්‍රපටයේ නළු නිළි දැක්ම පසුගිය 17 වනදා කොළඹදී සිදුකෙරිණි.

ශ්‍රී ලාංකිකයින්ට නවමු අත්දැකීමක් එක්කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය ගජමෑන් හැදුණු හැටි බලන්න එළඹෙන සෙනසුරාදා විශේෂ ඔන් ටොපික් වැඩසටහන නරඹන්න.